Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය සඳුදා සිට කොළඹදී

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය සඳුදා සිට කොළඹදී

editorial - 2023 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේ දී සඳුදා (9) ආරම්භ වන දෙවැනි මධ්‍යම ආසියානු අභියෝග ශූරතා කුසලාන ලීග් වොලිබෝල් (පිරිමි)  තරගාවලියේ දී ශ්‍රී ලංකාව  පළමුව එදින පස්වරු 4ට කසකස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතය.  සත්කාරක  ශ්‍රී ලංකාව ඇතුළුව මෙම තරගාවලියට සහභාගි වන රටවල් ගණන හයකි. එය ලබන ඉරිදා (15) දක්වා එහිදී පැවැත්වේ.

 ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය අධීක්ෂණය යටතේ කොළඹ දී සංවිධානය කරන මෙම තරගාවලියට වැය කෙරෙන මුදල රුපියල් කෝටි දෙකකට ආසන්නය.

බංග්ලාදේශය,    උස්බෙකිස්ථානය, සෞදි අරාබිය, නේපාලය හා ඇෆ්ගනිස්ථානය ඊට සහභාගි වන සෙසු රටවල් වේ. තරගාවලියට සහභාගි වන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කීපයක් ඊයේ (6) වනවිටත් දිවයිනට ළඟා වී සිටියේය.

සඳුදා පෙරවරු 10.30ට ඇෆ්ගනිස්ථානය  හා උස්බෙකිස්ථානය අතර තරගයෙන් තරගාවලිය ආරම්භ  කෙරේ. මෙහි ශූරතාව දිනාගන්නා කණ්ඩායම අන්තර් මහාද්වීප වොලිබෝල් ලීග් (පිරිමි) තරගාවලියට ආසියානු මහද්වීපයෙන් නිර්දේශ ලබයි.

මහද්වීප ලීග් තරගාවලියට සුදුස්සන් නිර්දේශ කර ගැනීම සඳහා  වන තරග මාලා පහක් මේ යටතේ මහද්වීප  පහ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

සඳුදා පස්වරු  2ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ සමාරම්භක උත්සවය පැවැත්වේ. මෙහි ශූරයන්, අනුශූරයන් හා තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම් ත්‍රිත්වය සඳහා රන්, රිදි හා  ලෝකඩ පදක්කම් ප්‍රදානය කෙරේ.

ඒ හැරෙන්නට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ඇතුළුව අවසන් මහ තරගයේ වොලිබෝල් සෑම ඉරියව්වක් සඳහාම වන හොඳම ක්‍රීඩකයන් අට දෙනකුට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමටද කටයුතු යොදා ඇත.

බංග්ලාදේශයේදී පැවැති 2021 පළමු තරගාවලිය ජය ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා ‘ලංකාදීප’යට පැවසුවේ පසුගිය වසර කීපය තුළදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වොලිබෝල් තරග සහභාගිත්වය සීමාවී තිබෙන තත්ත්වයක් තුළදී සත්කාරය දරන ජාත්‍යන්තර  තරගාවලියකට ශ්‍රී ලංකාවට සහභාගිවීමට අවස්ථාව ලැබීම මෙහි ඇති වඩාත්ම වැදගත්කම බවයි.

විදුලිබල මණ්ඩල හා ගම්පහ සියනෑ තරු යන වොලිබෝල් ක්‍රීඩා  සමාජයන්හි ක්‍රීඩකයෙකු වන දීප්ති රොමේෂ් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් නායකත්වය දරයි.

ඒ.එස්. නාලක මහතා පැවසුවේ මෙම තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීම සඳහා ජනතාවට විවෘත කර තිබෙන බවයි.

ඉරිදා (15) පස්වරු මෙහි අවසන් මහ තරග පවත්වා අවසන් කිරීමෙන් පසුව ජයසංකේත ප්‍රදානය සඳහා ආරාධනා ලබා සිටින්නේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාය.

එදිනම  පස්වරු 1.30ට තෙවැනි ස්ථානය තේරීමේ තරගය ආරම්භ වේ. මෙහි පිළිමලුන් පිටුදැකීමේ තරග වටයක් නොමැති අතර සියලු කණ්ඩායම් එකිනෙකාට  එරෙහිව තරග වැදීම අවසානයේදී වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් වන කණ්ඩායම් හතරක් ප්‍රසාද ලකුණු ලබාගැනීමේ අනුපිළිවෙළ අනුව අවසන් මහ තරගය හා තෙවැනි ස්ථානය තේරීම් තරග සඳහා නිර්දේශ ලබාගැනේ. වසර 2021  පළමු තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකාව වට 3-0කට බංග්ලාදේශය පරාජය කරමින් අත්කර ගෙන තිබේ.

 

දෙවැනි මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව තරග වදින අයුරු. (සියලු තරග කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේ දී)

• ඔක්තෝබර් 09 පස්වරු 4ට:- කසකස්තානයට එරෙහිව

• ඔක්තෝබර්  10 පස්වරු 4ට:- නේපාලයට එරෙහිව

• ඔක්තෝබර් 11 පස්වරු 6.30ට උස්බෙකිස්ථානයට එරෙහිව

• ඔක්තෝබර් 13 පස්වරු 4 ට ඇෆ්ගනිස්ථානයට එරෙහිව

• ඔක්තෝබර් 14 පස්වරු 4ට:- බංග්ලාදේශයට එරෙහිව

• ඔක්තෝබර් 15:- පස්වරු 1.30ට හා පස්වරු 4ට තෙවැනි ස්ථානය තේරීමේ තරගය හා අවසන් මහ තරගය.

 

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම:- ඡායාරූපයේ පසුපෙළ වමේ සිට - මලීෂ රවිෂාන්, ෂෙහාන් විමුක්ති, මහේල ඉන්දීවර, තරිඳු  ලක්මාල්, සනුක මධුභාෂණ, වසන්ත ලක්මාල්, අයේෂ් දිල්හාන්, තරුෂ චමත්, ඒ. ශ්‍රී සරත්, ෂෙහාන් ලක්ෂිත, රුචිර සම්පත්, මනෝජ් සුරංග,

ඉදිරිපෙළ වමේ සිට:- ලසිඳු මෙත්මල් (උපනායක), නිෂාන් ඉන්දික ( සහය පුහුණුකරු) චන්න ජයසේකර (ප්‍රධාන පුහුණුකරු), ටී.ඩී.එස්. ද සිල්වා (කළමනාකරු), සුසිරි මංගල (අභ්‍යාසක) යන මහත්වරුන් හා නායක දීප්ති රොමේෂ්.

 


අදහස් (0)

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය සඳුදා සිට කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.