Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් තේරීමේ තරග හෙට සිට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් තේරීමේ තරග හෙට සිට

editorial - 2022 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමේ ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට (18 වැනිදා) පෙරවරු 8.00 ට ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරගයෙන් ආරම්භ වේ. මෙම තරගාවලිය මීගමුව වෙරළ උද්‍යාන පිටියේදී පැවැත්වෙයි.

රටවල් 4 ක කාන්තා හා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් ගැටෙන මෙම තරගාවලිය අනිද්දාත් (19 වැනිදා) පැවැත්වේ.

මේ වසරේ ජූලි 28 සිට අගෝස්තු 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන  22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ආසියානු කලාපයෙන් සුදුසුකම් ලබන කාන්තා හා පිරිමි කණ්ඩායම් මෙම තරගාවලියේදී තෝරා ගැනේ. ශ්‍රී ලංකාව මාසයක් ඇතුළතදී සත්කාරය දරන දෙවැනි ජාත්‍යන්තර වෙරළ වොලිබෝල් තරගාවලිය මෙයයි.

පෙබරවාරි 18, 19, 20 යන දිනවලදී මීගමුවේදී පැවැති මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරග මාලාවේදී ශ්‍රී ලංකාව කාන්තා ඉසව්වේ රන්, රිදී හා ලෝකඩ පදක්කම් තුනත් පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගත්තේය. කෙසේ වුවත් එහිදී කාන්තා රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා අංක -1 කණ්ඩායමට ඇතුළත්ව සිටි ගුවන් හමුදා ක්‍රීඩිකා දිනේෂා ප්‍රසාදිනී මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නිර්දේශ නොවීම කැපී පෙනේ.

දිනේෂා වෙනුවට කාන්තා ලෝකඩ පදක්කම ලද ශ්‍රී ලංකා අංක 3 කණ්ඩායමේ චතුරිකා මධුෂානි වීරසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇත. ඇය සමගින් දීපිකා බණ්ඩාර ද ශ්‍රී ලංකාව නියෝජනය කරන්නීය.

පැවැති මධ්‍යම ආසියානු තරගාවලියේදී රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටි දීපිකා බණ්ඩාර හා චතුරිකා මධුෂානි වසර 2019 ‘කත්මණ්ඩු’ සාග් ක්‍රීඩා උළෙලේදී වෙරළ වොලිබෝල් (කාන්තා) රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කළහ. කෙසේ වුවත් දිනේෂා ප්‍රසාදිනී මීගමුවේදී අද ආරම්භ වන සුදුසුකම් තරග වටය සඳහා නිර්දේශ නොවීම ගැන ගුවන් හමුදා වොලිබෝල් ක්‍රීඩා සමාජය සිය කණස්සල්ල පළ කරමින් ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු සංචිතවලින් ඉවත්කර ගැනීමට දැරූ උත්සාහයක් ගැනද පසුගිය දිනවලදී වාර්තා විය.

අෂේන් රස්මික හා මලිත්ත යාපා මෙම සුදුසුකම් තරග වටයේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලබා සිටිති.  අෂේන් රස්මික පැවැති මධ්‍යම ආසියානු තරගාවලියේදී සිව් වැනි ස්ථානයට පත් ශ්‍රී ලංකා අංක-1 කණ්ඩායමේ ක්‍රීඩා කළේ ටිරෝන් ජයතිලක සමගය. එහිදී මලින්ත යාපා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා අංක -3 කණ්ඩායම අවසන් වටයට ප්‍රවේශ නොවීය.

ඒ අනුව මධ්‍යම ආසියානු තරගාවලියේ පිරිමි අවසන් මහ තරගයේදී ඉරානයට පරාජය වෙමින් රිදී පදක්කම ලද ශ්‍රී ලංකා අංක -2 කණ්ඩායමට ඇතුළත්ව සිටි අංජන සන්දීපන හා සඳුන් මධුශංඛ මෙවර තේරීම් නොලැබීමත් කැපී පෙනේ.

සත්කාරක ශ්‍රී ලංකාව හැරෙන්නට සිංගප්පූරුව, මලයාසියාව, මාලදිවයින මෙම තරගාවලියට සහභාගි වෙති. එහෙත් මාලදිවයින කාන්තා ඉසව්ව සඳහා කණ්ඩායමක් ඉදිරිපත් කර නැත.

තරගාවලියේ සත්කාරය වෙනුවෙන් රුපියල් මිලියන 6 කට ආසන්න මුදලක් වැයවේ. ඒ සඳහා ප්‍රධාන අනුග්‍රහය දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව සමග ‘සී. ඩබ්. මැකී’ ආයතනය ඉදිරිපත්ව සිටිති.

තරගාවලිය නිමාවට පත් කරමින් අනිද්දා (19) පස්වරු 6.00 ට කාන්තා අවසන් මහ තරගයත්, රාත්‍රි 7.00 ට පිරිමි අවසන් මහ තරගයත් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය, ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තරගාවලිය සංවිධානය කරයි.

 

පොදු රාජ්‍ය මණ්ඩලීය සුදුසුකම් තේරීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව තරග වදින ආකාරය

මාර්තු 18 වැනිදා
පෙරවරු 8.00 ට :- (පිරිමි) :- මාලදිවයිනට එරෙහිව
පස්වරු 5.00 ට :- (කාන්තා) :- මලයාසියාවට එරෙහිව
රාත්‍රි 8.00 ට :- (පිරිමි) :- මලයාසියාවට එරෙහිව

මාර්තු 19 වැනිදා
පෙරවරු 9.00 ට :- (පිරිමි) :- සිංගප්පූරුවට එරෙහිව
පෙරවරු 10.00 ට :- (කාන්තා) :- සිංගප්පූරුවට එරෙහිව

පස්වරු 6.00 ට - කාන්තා අවසන් මහ තරගය
රාත්‍රි 7.00ට - පිරිමි අවසන් මහ තරගය

 

අෂෙන් රස්මික මලිතන්ත යාපා
චතුරිකා මධුෂානි දීපිකා බණ්ඩාර



 


අදහස් (0)

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් තේරීමේ තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.