Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball අසුබ ආරම්භය ශූරයන් ගෙදර යවයි

අසුබ ආරම්භය ශූරයන් ගෙදර යවයි

editorial - 2023 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ශූරතා මංචි කුසලාන වොලිබෝල් සුපර් ලීග් කාණ්ඩයේ අවසන් මහ තරගය සඳහා යුද හමුදාව හා විදුලි බල මණ්ඩලය නිර්දේශ ලබා ගත්හ. මෙම අවසන් මහා තරගය හා පොලිසිය හා වරාය අධිකාරිය අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය මෙම 24 වැනිදා මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වේ.

දිවයිනේ නම ගිය වොලිබෝල් කාන්තා හා පිරිමි කණ්ඩායම් 15ක් මුණ ගැසුණු මෙවර සුපර් ලීග් තරගාවලියේ සුවිශේෂිතම සිදුවීම වූයේ ගියවර පිරිමි ශූරතාව දිනාගත් ගුවන් හමුදා කණ්ඩායම මූලික වටයේදී පොලිසිය හමුවේ ලද එකම පරාජයෙන්ම අවසන් වටයේ අවස්ථාව අහිමි කර ගැනීමයි.

ඒ හේතුවෙන් ඔවුන්ට අවසන් පූර්ව වටයේ අවස්ථාව ගිලිහී ගියේය. එය ඔවුන්ගේ විශාල පසුබෑමක් වූයේ අවම තෙවැනි ස්ථානයට තරගවැදීමේ අවස්ථාවද අහිමි කර ගැනීම තුළය.

ඔවුන් සහභාගී වූ ආරම්භක තරගයෙන්ම පොලිස් කණ්ඩායමට වට 3-1 කින් පරාජයවීමට ඔවුන්ට මෙවර තරගාවලියේ අසුභ ආරම්භයක් සනිටුහන් කළ සිදුවීමයි.

කෙසේවූවත් මූලික වටයේ මුහුණ දුන් සෙසු තරග දෙකම ඔවුන් ජය ගැනීම අවසන් වටයට යාමට ප්‍රමාණවත් නොවීය. වට 3-1 කින් හා අවසන් තරගයට පිවිස සිටින යුද හමුදාව වට 3-2 කින් පරාජය කිරීමට සමත් විය. එහෙත් ප්‍රසාද ලකුණු ගණන ප්‍රමාණවත් නොවීමෙන් මෙවර ඔවුන්ට මූලික වටයෙන් ඉවත්ව යාමට සිදුවිය.

ඕෂන් ලංකා කණ්ඩායම විසින් වරාය අධිකාරී කණ්ඩායම වට 3-2 කින් පරාජය කළ මූලික වටයේ තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය. එහිදී 15/25 – 25/21- 25/17 – 18/25 – 15/11 පරිදි ඕෂන් ලංකා තරගය ජය ගත්තේය.

වරාය අධිකාරී ක්‍රීඩකයන් අතින් මෙවර අවසන් තරගයට තේරී සිටින විදුලි බල මණ්‍ඩල කණ්ඩායම පරාජය වීමද කැපී පෙනේ. එහිදී 19/25 – 25/22 – 25/23 – 20/25 – 15/7 පරිදි වට 3-2 ක තියුණු ජයක් වරාය ක්‍රීඩකයන්ට අත්විය.

ගාල්ල දඩැල්ල ජාතික වොලිබෝල් පියස ගෘහස්ථ පිටියේදී දින ගණනාවක්ම පැවැති මෙවර සුපර් ලීග් කාණ්ඩයේ වොලිබෝල් කාන්තා හා පිරිමි මූලික වටයේ තරග පෙළ අවසානයේ කාන්තා අවසන් මහා තරගය සඳහා ගුවන් හමුදාව හා යුද හමුදාව නිර්දේශ වී සිටිති. ඒ අනුව යුද හමුදා ක්‍රීඩා සමාජය මෙවර ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් කාන්තා හා පිරිමි අවසන් මහා තරග දෙකටම නිර්දේශ ලබා ගැනීමට සමත්ව සිටියි.

කාන්තා තෙවැනි ස්ථානය තේරීමේ තරගය මේ වනවිටත් පවත්වා අවසන් කර ඇති අතර එහි ජය හිමිවූයේ නාවික හමුදාව වට 3-0 කින් පරාජය කළ ‘හයිඩ්‍රාමනි’ ක්‍රීඩා සමාජයයි. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මංචි (සිලෝන්) බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් තරගවලිය සංවිධානය කරයි.

 

සුපර් ලීග් (පිරිමි) අවසන් පූර්ව තරග ප්‍රතිඵල
යුද හමුදාව විසින් වරාය අධිකාරිය වට 3-0 කින් (25/22 – 25/19 – 25/16) පරාජය කරන ලදී.
විදුලිබල මණ්ඩලය විසින් පොලිසිය වට 3-0 කින් (25/20 – 25/20 – 25/17) පරාජය කරන ලදී.
තෙවැනි ස්ථානය තේරීමේ තරගය පොලිසිය හා වරාය අධිකාරිය අතර.

 

යුද හමුදා කණ්ඩායම 

 

විදුලි බල මණ්ඩල කණ්ඩායම 


අදහස් (0)

අසුබ ආරම්භය ශූරයන් ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.