Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ළහිරු - සන්තුෂ් දෙදෙනාගෙන් ප්‍රබල පිළිතුරක්
ජාතික සුපිරි ලීගය

ළහිරු - සන්තුෂ් දෙදෙනාගෙන් ප්‍රබල පිළිතුරක්

editorial - 2024 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පළමු පෙළ තරග වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිතිකරුවන්ට කොයිතරම් ආශිර්වාද කරන්නේද යන්න නැවත වරක් තහවුරු කරමින් ජාතික සුපිරි ලීග් පළමු පෙළ තරගාවලියේ තරගයකදී ගාල්ල ක්‍රීඩකයන් ලබාගත් ලකුණු 711 ට ප්‍රබල පිළිතුරක් දුන් යාපනය ක්‍රීඩකයෝ, තරගයේ තුන්වැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 316 ක් ලබාගත්හ. සිව්වැනි කඩුල්ල ලකුණු 224 දී දැවී ගිය නමුත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ළහිරු මධුශංක (නොදැවී 80) සහ සන්තුෂ් ගුණතිලක (නොදැවී 49) එක්ව යාපනය කණ්ඩායම මෙම ස්ථානයට කැඳවාගෙන ආහ. 

පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවීමට යාපනය පිලට තවත් ලකුණු 195 ක් අවශ්‍ය වන නමුත් තරගයේ ඉතිරිව ඇත්තේ එක දිනයක් පමණි. 

ගාල්ල මුල් ඉනිමේදී ද්විත්ව ශතකයක් ලබාගත් පසිඳු සූරියබණ්ඩාර (242) පන්දු 346 කට මුහුණ දෙමින් හතරේ පහර 17 ක් සිය ඉනිමට ඇතුළත් කළේය. පසිඳු සමගින් එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකණු 250 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ලක්‍ෂාන් එදිරිසිංහ (122) පන්දු 207 කට මුහුණ දෙමින් හතරේ පහර 14 කින් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කළේය. 

ජාතික සුපිරි ලීග් (සිව්දින) තරගාවලියේදී මේ දක්වා තරග 6 කට සහභාගි වී සිටින ගාල්ල කණ්ඩායම ඒවායින් පූර්ණ ජයග්‍රහණ 3 ක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණේ පසුවෙයි. ඔවුනට තවත් ඉතිරිව ඇත්තේ තරග 2 ක් පමණක් වන බැවින් සිය පෙරමුණ රැකගැනීම සඳහා පරාජය නොවී සිටීම ප්‍රමාණවත් වෙයි. 

වසර 1997 දී ටෙස්ට් ඉනිමක් සඳහා වන විශාලතම ලකුණු සංඛ්‍යාව (952) රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටවූයේත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීමය. කඩුලු 14 ක් පමණක් දැවී ලකුණු 1489 ක් වාර්තා වූ එම තරගයේදී ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ක්‍රීඩකයන් වෙතින් ත්‍රිත්ව ශතකයක්, ද්විත්ව ශතකයක් සහ ශතක 4 ක් වාර්තා විය. 


ගාල්ල - පළමු ඉනිම කඩුලු 9 ට 711 යි
(සංගීත් කුරේ 49, ඕෂධ ප්‍රනාන්දු 22, ෂෙහාන් ප්‍රනාන්දු 56, පසිඳු සූරියබණ්ඩාර 242, ලක්‍ෂාන් එදිරිසිංහ 122, විශාද් රන්දික 66, ධනංජය ලක්‍ෂාන් 26, නිමේෂ් විමුක්ති 40, මිලාන් රත්නායක නොදැවී 26, කල්හාර සේනාරත්න 145/2, ජනිත් ලියනගේ 86/2)

යාපනය - පළමු ඉනිම කඩුලු 4 ට 316 යි
(රොන් චන්ද්‍රගුප්ත 66, හසිත බෝයගොඩ 25, නිපුන් කරුණානායක 10, සඳුන් වීරක්කොඩි 14, ජනිත් ලියනගේ 62, ළහිරු මධුශංක නොදැවී 80, සන්තුෂ් ගුණතිලක නොදැවී 49, සුමින්ද ලක්ෂාන් 60/2)


අදහස් (0)

ළහිරු - සන්තුෂ් දෙදෙනාගෙන් ප්‍රබල පිළිතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.