Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story හිමාෂ ඒෂාන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

හිමාෂ ඒෂාන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කසකස්තානයේදී මෙම 19-20 දෙදින පැවැත්වෙන කසකස්තාන විවෘත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියට තමන් නිර්දේශ කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට උපදෙස් දෙන ලෙස ඉල්ලා කෙටි ධාවන ක්‍රීඩක හිමාෂ ඒෂාන් ජාතික ක්‍රීඩා සභාවෙන් කළ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වූ බව වාර්තාවේ.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා මුණ ගැසුණු හිමාෂ ඒෂාන් එම ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසුව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානීන් සමග සූම් තාක්ෂණය ඔස්සේ කළ සාකච්ඡාවකින් පසුව හිමාෂගේ ඉල්ලීම  ප්‍රතික්ෂේප වුණු බව ද වාර්තාවේ.

සූම් තාක්ෂණය ඔස්සේ මහේල ජයවර්ධන මහතා සමග සාකච්ඡාවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, එහි ලේකම් ප්‍රේමා පින්නවල, මලල ක්‍රීඩා ජාතික නිල දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන හා මලල ක්‍රීඩා ආයතනයේ උප සභාපතිනි දමයන්ති දර්ශා යන මහත්ම මහත්මීන් සහභාගිවී ඇත.

මෙම සාකච්ඡාවෙන් පසුව තීරණයවී ඇත්තේ හිමාෂ ඒෂාන් කසකස්ථාන තරග සංචාරයට නිර්දේශ නොවීමට හේතුව ඔහුගේ දස්කම් අඩුවීම ප්‍රධානතම කරුණ ලෙස බලපා තිබෙන බවයි. එබැවින් කසක්ස්තාන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ‘ශ්‍රී ලංකා මලල ක්‍රීඩා’ ආයතනය නිර්දේශ කළ ශ්‍රී ලංකා කණ්ඩායම සංශෝධනය නොකිරීමටද අවසන් තීරණය වී තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මේ සම්බන්ධයෙන් පවසන්නේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ ඉතා ආසන්නයට පැමිණ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ සඳහා අවසන් ජාත්‍යන්තර තරගය ලෙස  එම අවස්ථාව දී තිබෙන බවයි. ඒ සඳහා පහසුකම් සැළසිය හැක්කේ ශ්‍රී ලංකාවේ ඉතා සීමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනෙකුට පමණක් බවත් මලල ක්‍රීඩා සංගමය ජාතික ක්‍රීඩා සභාවට වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

අවසන් වරට හිමාෂ සහභාගීවූ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟාවලියවූයේ වසර 2019 දෙසැම්බර් මාසයේ කත්මන්ඩු නුවරදී පැවැති 13 වැනි සාෆ් ක්‍රීඩා උළෙලයි. එහිදී තත්පර 10.50 කට මීටර 100 (පිරිමි) ඉසව්වෙන් ඔහුට හිමිකර ගත හැකිවූයේ රිදී පදක්කමයි.

එහිදී හිමාෂ ඒෂාන් පරාජයට පත්කරමින් මාලදිවයින් ක්‍රීඩක හසන් සයිඩ් තත්පර 10.49 කට එහි  රන් පදක්කම දිනා ගැනීම වාර්තාපොතට ඇතුළත්වූයේ සාෆ් මලල ක්‍රීඩා ඉතිහාසයේ මාලදිවයින දිනාගත් පළමු රන් පදක්කම ලෙසිනි.

මේ වනවිට මීටර් 100 (පිරිමි) ඉසව්වේ හිමාෂගේ හොඳම දස්කම වී ඇත්තේ තත්ත්පර 10.22 කි. එය වසර 2019 දී ශ්‍රී ලංකාවේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකදී කළ ධාවනයකි.
එහෙත් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා කෙළින්ම නිර්දේශ ලබා ගැනීමේ එහි අවම සුදුසුකම තත්පර 10.05 කි.

ඉතාලියේ පුහුණුවීම් කරන යුපුන් අබේකෝන් මේ වනවිට  හිමාෂ අභිබවා මෙම ඉසව්වෙන් ඉදිරියට පැමිණ සිටී.  හිමාෂට හිමිව තිබූ මීටර 100 (පිරිමි) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවද (තත්පර 10.22) අභිබවා ගිය යුපුන් අබේකෝන් ශ්‍රී ලංකා වාර්තාව තත්ත්පර 10.15 ක් ලෙස අලුත් කළේය.

මේ අතර කසකස්තාන මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සඳහා එරට මලල ක්‍රීඩා බලධාරින්ගෙන් ශ්‍රී ලංකාවට මේ වනවිට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම තරග සංචාරයට සූදානම් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් එක් ක්‍රීඩකයකු සඳහා අවම වශයෙන් රුපියල් 350,000ක් පමණ වන ගුවන් ප්‍රවේශපත්‍ර වියදමක් දැරීමට සිදුව තිබේ.

ජූලි 23 වැනිදා ජපානයේ ටෝකිටෝ නුවරදී ආරම්භ වන ඔලිම්පික් උළෙල සඳහා ‘අන්තර් ජාතික මළල ක්‍රීඩා ආයතනය හඳුන්වා දුන් විශේෂ ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ මීටර් 3000 බාධක දිවීම ක්‍රීඩිකා නිලානි රත්නායක ඔලිම්පික් උළෙලේ නිර්දේශ ලබා ගැනීමට වඩාත්ම ආසන්නයට පැමිණ සිටින මෙරට ක්‍රීඩිකාවයි. එම අවස්ථාව තහවුරු වනු ඇතැයි අපේක්ෂාවෙන් කසකස්තාන් තරග සංචාරයට නිලානි නිර්දේශ කර ඇත.

ආබාධ තත්ත්වයක් හේතුවෙන් මීටර 800 ක්‍රීඩිකා ඩිල්ෂි කුමාරසිංහ කසකස්තාන  තරග සංචාරයට සහභාගි නොවන බව දැනුම් දී තිබේ. ඒ හේතුවෙන් මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස නිර්දේශ කර තිබූ ඇගේ පෞද්ගලික පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාද තරග සංචාරයෙන් ඉවත්ව තිබේ. නව කළමනාකරු වන්නේ ක්‍රීඩිකා නිමාලි ලියනආරච්චිගේ පෞද්ගලික පුහුණුකරු සුජිත් අබේසේකර මහතාය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස විමුක්ති සොයිසා මහතා නම් කර තිබේ. ඔහු ක්‍රීඩක කාලිංග කුමාරගේගේ පෞද්ගලික පුහුණුකරුවායි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා මලල ක්‍රීඩාවන් සුදුසුකම් පෙන්වීමට අවස්ථාව ලැබෙන්නේ මේ මස 29 වැනිදා දක්වා පමණි. එහෙත් සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා හඳුන්වා දුන් ප්‍රසාද ලකුණු ක්‍රමය යටතේ කාලසීමාවෙන් දෙකක් සලකිල්ලට ගෙන තිබේ. ඒ වසර 2019 අගෝස්තු 01 වැනිදා සිට 2020 අප්‍රේල් 05  වැනිදා දක්වාත් නැවත 2020 දෙසැම්බර් 01 වැනිදා සිට ජුනි 29 වැනිදා දක්වාත් වන කාලසීමාවන් දෙක තුළ පැවැති දේශීය හා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග මාලා දක්ෂතා සැළකිල්ලට ගනිමිනි.

මැයි 21 වැනිදා අවසන්වරට දේශීය තරගාවලියකට සහභාගී වූ හිමාෂ එදින සුගතදාස පිටියේදී පැවැති 99වැනි ජාතික මලල ක්‍රීඩා 1වැනි අදියරේදී ප්‍රදර්ශනය කළේ තත්පර 10.45ක දක්ෂතාවයකි.

කසකස්තානයේදී පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පහත දැක්වේ. ඔවුන්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාවය හා ටෝකියෝ ඔලිම්පික් උළෙලේ අවම නිර්දේශයට ලැබිය යුතු දක්ෂතාව ද වරහන් තුළ දැක්වේ.

මීටර් 800 (කාන්තා) - නිමාලි ලියනආරච්චි (විනාඩි 2 තත්පර 3.80 - ඔලිම්පික් නිර්දේශය විනාඩි 1 තත්පර 59.50)
මීටර් 400 (කාන්තා) - නදීෂා  රාමනායක (තත්පර 53.11 - ඔලිම්පික් නිර්දේශය තත්පර 51.35)
මීටර 400 (පිරිමි) - කාලිංග කුමාරගේ (තත්පර 45.99 - ඔලිම්පික් නිර්දේශය තත්පර 44.90)
උස පැනීම (පිරිමි) - උෂාන් තිවංක පෙරේරා (මීටර 2.30 – ඔලිම්පික් නිර්දේශය මීටර් 2.33)
මීටර  100 (පිරිමි) - යුපුන් අබේකෝන් (තත්පර 10.15 - ඔලිම්පික් නිර්ද්ශය තත්පර 10.05)

හෙල්ල විසිකිරීම (පිරීම) - සුමේධ රණසිංහ (මීටර 76.00 – ඔලිම්පික් නිර්දේශය මීටර් 85.00)

 


අදහස් (0)

හිමාෂ ඒෂාන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.