
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය (2025-26) ආරම්භ කරමින් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර අද (14 වැනිදා) පැවැති තරගය 31-31 ක් ලෙස ලකුණු සම වීම හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය.
කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට නාවික හමුදා ක්‍රීඩකයෝ ලකුණු 24-10 ක් ලෙස ඉදිරියෙන් සිටියහ. එහිදී ඔවුන් ගෝල දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් මගින් ලකුණු ලබාගත් අතර හැව්ලොක්ස් ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ උත්සාහක දිනුම් 2 ක් සමගිනි.
දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ හැව්ලොක්ස් කණ්ඩායම, ගෝල දිනුම් 3 ක් මගින් සිය ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 21 කින් ඉහළ දමාගැනීමට සමත් විය. එහිදී නාවික හමුදා කණ්ඩායමට ගෝල දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි.
තරගයේ සිවුවැනි විනාඩියේදී ඉසුරු පෙරේරාත්, 10 වැනි විනාඩියේදී නායක දෙනුවන් වික්‍රමාරච්චිත් ලබාගත් උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කර ගත් ඉසුරු කෝන්ගහවත්ත, ඉන් නොනැවතී 14 වැනි විනාඩියේදී දඬුවම් පහරක්ද සාර්ථක කරගනිමින් ලකුණු 17-00 ක් ලෙස නාවික හමුදා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය.
තරගයේ 20 වැනි විනාඩියේදී අස්මීර් තාජුඩීන්ද, 34 වැනි විනාඩියේදී අබ්දුල්ලා ෆයිස්ද හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් නමුත් එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට නායක සන්දේෂ් ජයවික්‍රම සහ යෙහාන් බුලත්සිංහල අපොහොසත් වූහ.
එම උත්සාහක දිනුම් දෙක අතර කාල සීමාවේදී එනම් 30 වැනි විනාඩියේදී නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට නායක දෙනුවන් වික්‍රමාරච්චි සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේද ඉසුරු කෝන්ගහවත්ත විසිනි.
දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව ජයතු රාජරත්න සහ තීක්ෂණ දසනායක පිළිවෙළින් 43 වැනි සහ 49 වැනි විනාඩිවලදී හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් ලබාගත් අතර එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගත් නායක සන්දේෂ් ජයවික්‍රම 24-24 ක් ලෙස කණ්ඩායම් දෙකේ ලකුණු සංඛ්‍යාවන් සම තත්වයට පත්කළේය.
එතැන් පටන් පැය භායකට ආසන්න කාලයක් තරගයේ පෙරමුණට පැමිණීම සඳහා කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ නමුත් දෙපාර්ශවයම අසාර්ථක විය. ඒ අතර වාරයේ 65 වැනි විනාඩියේදී හැව්ලොක්ස් පිලට හිමිවූ දඬුවම් පහරක් සන්දේෂ් ජයවික්‍රම අතින්ද, 68 වැනි විනාඩියේදී නාවික හමුදාවට හිමිවූ දඬුවම් පහරක් තිළිණ වීරසිංහ අතින්ද ගිළිහී ගියේය.
කෙසේ වුවත් තරගය නිමාවීමට විනාඩි 2 ක් ඉතිරිව තිබියදී (78 වැනි විනාඩියේදී) උත්සාහක දිනුමක් ලබාගත් උප නායක ජනිඳු ප්‍රනාන්දු සහ නායක සන්දේෂ් ජයවික්‍රම ලකුණු 31-24 ක් ලෙස හැව්ලොක්ස් කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආහ. එහෙත් වැඩි වේලාවක් හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට සතුට සැමරීමට ඉඩක් නොදුන් නාවික හමුදා ඉදිරි පෙළ ක්‍රීඩකයෝ, අවසන් විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූහ. එහි ප්‍රවර්ථන සාර්ථක කරගනිමින් යළිත් වරක් ලකුණු තත්වය සම කළ ඉසුරු කෝන්ගහවත්ත තරයේ වීරයා ලෙස සම්මාන ලැබීය.
මෙම තරගයේ 40 වැනි විනාඩියේදී අපරික්ෂාකාරී ක්‍රීඩා විලාශය හේතුවෙන් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ උදේෂ් මධුෂංක විනිසුරුවන්ගේ දැඩි අවවාද සමග රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත්ව ගියේය. ඒ හේතුවෙන් තරගයේ දෙවැනි අර්ධයේදී හැව්ලොක්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිදුවූයේ ක්‍රීඩකයන් 14 දෙනෙක් සමගිනි.

ඡායාරූප - ශ්‍රී ලංකා රග්බි සංගමය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.