
(නාමල් පතිරගේ )
තායිලන්ත පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාව සමග ලබන අගහරුවාදා (18) කොළඹදී පැවැත්වෙන ආසියානු පාපන්දු කුසලාන (2027 - රියාද්) නිර්දේශ තෙවැනි වටයේ තරගයට සහභාගිවීම සදහා හෙට (15) දිවයිනට ළගාවේ.එම තරගය එදින පස්වරු 4.30 ට කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
මෙම තරග වටයේ දෙරට පළමු මුණ ගැසීමේදී ශ්‍රී ලංකාව ගෝල 1 - 0 කින් පරාජය විය. එහි තරග රටාවට අනුව ප්‍රතිවාදින් එකි නෙකා දෙවරක් මුණ ගැසෙන අතර දෙරට අතර එම පළමු තරගය පසුගිය මාර්තු 25 වැනිදා බැංකොක් නුවරදී පැවැත්වුණි.
මෙම දෙරට මේ දක්වා ජාත්‍යන්තර තරග පිටියේ අට වතාවක් මුණ ගැසී තිබේ. එහිදී එම සියළු තරග ජය ගෙන ඇත්තේ තායිලන්තය විසිනි. ආසියානු කුසලාන නිර්දේශ තෙවැනි වටයේ මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගි වූ හතරකින් දෙකක් ජය ගෙන ඉතිරි තරග දෙක පරාජයවී තිබේ.
අවසන් වරට පසු ගිය ඔක්තෝබර් 14 වැනිදා අර්කාඩැග් නුවරදී මෙම තරග වටයේ පැවැති තරගයකදී ශ්‍රී ලංකාව තුර්ක්මෙනිස්ථානයට ගෝල 2 - 1 කින් පරාජය විය.එහෙත් දෙරට අතර කොළඹදී ඔක්තෝබර් 9 වැනිදා පැවැති පළමු අදියර තරගය ගෝල 1 - 0 කට ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.
ඒ අතර ශ්‍රී ලංකාව මෙම තරග වටයේ ජය ගත් සෙසු තරගය වන්නේ පසුගිය ජූනි 25 වැනිදා කොළඹදී චීන - තායිපේට එරෙහිව ගෝල 3 - 1 කින් ලැබූ දෙරට අතර අදියර - 1 තරගයයි. මෙම තරග වටයේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අවසන් කරමින් වසර 2026 මාර්තු 31 වැනිදා එරටදී චීන - තායිපේට එරෙහිව දෙවැනි අදියර තරගය පැවැත්වේ.
ඩී කාන්ඩයෙන් නිර්දේශ තරග වටයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වන විට එහි ප්‍රසාද ලකුණු සටහනට අනුව ලකුණු හයක් ලබා තෙවැනි ස්ථානයේ පසු වේ.තුර්ක්මෙනිස්ථානය එහි පළමු තැනේ පසු වන්නේ තරග තුනක් ජය ගෙන ප්‍රසාද ලකුණු නවයකටය.කෙසේවූවත් තායිලන්තය අගහරුවාදා කොළඹ තරගය ජය ගත හොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු 12 ක් දක්වා එකතු වන බැවින් එවිට ඔවුන්ට ඩී කාන්ඩයේ පෙරමුණ හිමිවේ.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 193 වැනි ස්ථානයේත් තායිලන්තය 96 වැනි ස්ථානයේත් මේ වන විට රැදී සිටිති.තායිලන්තය වසර 2025 මේ දක්වා සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු 10 කින් තරග හයක්ම ජය ගෙන තිබේ.අවසන් වරට ඔවුන් ඉහත තරග වටය යටතේ චීන - තායිපේ ගෝල 6 -1 ක දරුණු පරාජයකට ලක් කළේය.
තායිලන්ත පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස බ්‍රිතාන්‍ය ජාතික ඇන්ටනී පැට්ට්‍රික් හඩ්සන් මහතා කටයුතු කරයි.එහි 20 දෙනෙකුගෙන් සමන්විත පුහුණු කාර්‍ය මණ්ඩලයක් කටයුතු කිරීම කැපී පෙනේ.තායිලන්ත පාපන්දු කණ්ඩායමේ නායක මැද පෙළ ක්‍රීඩක 32 හැවිරිදි චැනතිප් සොන්ග් ක්‍රසින් දක්වා ජාත්‍යන්තර තරග 74 කට සහභාගිවී ගෝල 15 ක් වාර්තා කර ඇති ඉහළම පළපුරුද්දෙන් හෙබි ක්‍රීඩකයෙකි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා ජාත්‍යන්තර 62 කට මේ දක්වා සහභාගි වූ කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නායි.ඔහු 33 හැවිරිදිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.