Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සොනාල් දිනූෂ ටෙස්ට් දොරටුව අබියස
එස්.එස්.සී. ටෙස්ට් තරගය

සොනාල් දිනූෂ ටෙස්ට් දොරටුව අබියස

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මැතිව්ස් වෙනුවට නවක ක්‍රීඩක සොනාල් දිනූෂ ටෙස්ට් සංචිතයට කැඳවූ ශ්‍රී ලංකා තේරීම් කමිටුව තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් බලාපොරොත්තු තැබිය හැකි වමත් පිතිකරුවා ටෙස්ට් දොරටුව අබියසට තල්ලු කළේය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (25 වැනිදා) කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂට ටෙස්ට් හිස්වැස්ම හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා අද (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය. 

“සොනාල් දිනූෂ ඔහුගේ මංගල (ටෙස්ට්) තරගයට ක්‍රීඩා කරාවි. තණතරුව දෙස බලන විට හොඳම විකල්පය ලෙසට පෙනෙන්නේ සොනාල් දිනූෂයි. ඒ නිසා ටෙස්ට් මංගල තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථා බොහෝ දුරට ඔහුට තිබෙනවා” යයි ධනංජය ද සිල්වා අද දහවල් එස්.එස්.සී. පිටියේදී පැවසීය. 

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගැනීමත් සමගින් දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට 18 දෙනකුගෙන් සමන්විත නව සංචිතයක් නම්කර තිබේ. කෙසේ වෙතත් සොනාල් දිනූෂ කණ්ඩායමට එක්වන්නේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා කළ අංක 4 පිතිකරුවා ලෙසින් නොව, වමතින් දඟ පන්දු යැවීමේ හැකියාවෙන් යුත් වඩාත් විශ්වාසය තැබිය හැකි පිතිකරුවකු ලෙසිනි. 

සී.සී.සී. පිල නියෝජනය කරන සොනාල් දිනූෂ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමත් නියෝජනය කර ඇති වමත් පිතිකරුවෙකි. මේ වන විට පළමු පෙළ තරග 48 කට සහභාගි වී සිටින සොනාල් ඒවායේදී කඩුලු 99 ක් දවාගෙන තිබේ. ඔහු විසින් රැස්කරගන්නා ලද ලකුණු සංඛ්‍යාව 2478 කි. සොනාල් දිනූෂ ලබාගත් පළමු පෙළ ශතක සංඛ්‍යාව 7 කි. පිතිහරඹයේදී ඉනිමක සාමාන්‍යය ලකුණු 40.62 ක් ලෙස රඳවා ගන්නා සොනාල්, පළමු පෙළ කඩුල්ලක් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන සාමාන්‍යය 24.79 කි.
 
මෙම තත්ත්වය අනුව හෙට තරගයේදී සොනාල් දිනූෂ පිතිකරු ලයිස්තුවේ අංක 6 හෝ 7 ස්ථානයෙන් පිටියට පිවිසෙනු ඇත. 

පසුගිය පෙබරවාරි මාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහාත්  සොනාල් දිනූෂ ටෙස්ට් සංචිතයට ඇතුළත් කරන ලදි. එහෙත් ඇන්ජලෝ මැතිව්ස් 11 දෙනා අතර සිටීමත්, කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරිය වීමත් හේතුවෙන් සොනාල් දිනූෂට ටෙස්ට් කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමි විය. 

“අපි සංචිතයේ සිටින ක්‍රීඩකයින් 12 දෙනෙකු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. කාලගුණය නිරන්තරයෙන් වෙනස් වෙනවා. වේග පන්දු යවන්නන් තුන් දෙනකු සමගින් තරගයට යන්න තමයි හිතාගෙන ඉන්නේ. නමුත් තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය බව පේනවා”

“කොහොම වුණත් අපි හෙට උදේ තීරණය කරනවා කරන්නේ මොකක් ද කියලා” යයි ධනංජය ද සිල්වා අද දහවල් පැවසීය.

දෙවැනි ටෙස්ට් තරගය සඳහා සංචිතය නම් කිරීමේදී තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක ඉවත් කිරීමට තේරීම් කමිටුවට සිදුවිය. මිලාන් පළමු ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටියදී වම් ඇලපතේ මස්පිඬුවක් ඇදීමෙන් ආබාධයකට ලක්විය. ඒ හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ විශ්ව ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ. 

වේග පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරගයට යාම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාවයි. එහෙත් දඟ පන්දු යැවීම සම්බන්ධයෙන් ගත් කල එකම දඟ පන්දු යවන්නා කවුරුන්ද යන්න විශාල ප්‍රශ්නාර්ථයක් පවතී. සාමාන්‍ය තත්වයන් යටතේ නම් එය නිසැකවම ප්‍රභාත් ජයසූරිය විය හැකි වූවත් ජයසූරිය මේ දිනවල ඔහුගේ උපරිමයෙන් පන්දු යවන්නේ නැති බව පෙනෙන්නට තිබේ. එය ශ්‍රී ලංකා කණ්ඩායමට කණස්සල්ල කැඳවන්නකි.

ජයසූරියගේ ප්‍රශ්නය ඇත්තේ ඔහු පන්දුව මුදාහරින අවස්ථාවේදී ලබාගන්නා කෝණය සම්බන්ධයෙන් බව වාර්තා වෙයි. ඔහු මෙම දෝෂයට මුල පුරා ඇත්තේ පසුගිය දේශීය තරගවාරයේදී බව විශේෂඥයන්ගේ මතයයි. ජාතික කණ්ඩායම් පුහුණුකරුවන් සමඟ එක්ව ප්‍රභාත් ජයසූරිය එම දෝෂය නිවැරදි කරගැනීමට දැඩි උත්සාහයක් ගන්නා නමුත් ඒ වෙනුවෙන් කොපමණ කාලයක් ගතවේද?, එය කෙතරම් දුරට සාර්ථක වේද? යන්න පිළිබඳව ඇත්තේ කුකුසකි. 

කෙසේ වෙතත් දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවීමෙන් ජයසූරිය පීඩනයට ලක්වී තිබේ. වෙල්ලාලගේ විශේෂඥ දඟ පන්දු යවන්නන්ගේ කුලකයට අයත්වන අතරම පිතිකරුවකු ලෙසින් ද විශාල බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙකි. 

එබැවින් ප්‍රභාත් ජයසූරිය සමගින් තවදුරටත් ඉදිරියට යනවාද? නැතහොත් අකිල ධනංජය හෝ දුනිත් වෙල්ලාලගේ සමගින් තරගයට යනවාද යන්න සිතාබැලීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ පැය කිහිපයකි. ජාතික සුපර් ලීග් තරගාවලියේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය වසර 6 කට පසුව නැවතත් ටෙස්ට් පිටියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටී. 


දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය
ධනංජය ද සිල්වා (නායකයා), පැතුම් නිස්සංක, ළහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, සොනාල් දිනූෂ, කුසල් මෙන්ඩිස්, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, ඕෂධ ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක සහ ඉසිත විජේසුන්දර


අදහස් (0)

සොනාල් දිනූෂ ටෙස්ට් දොරටුව අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.