Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමට වසර 25 යි

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමට වසර 25 යි

editorial - 2025 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩා කෙටි ධාවන ශූරිය ලෙස සැලකෙන සුසන්තිකා ජයසිංහ වසර 2000 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවැති 27 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේදී පදක්කමක් දිනා ගැනීමේ 25 වැනි (රිදී ජුබිලි) සංවත්සරය හෙටට (28) යෙදී තිබේ.

ඇය සිඩ්නි ඔලිම්පික් උළෙලට සහභාගි වෙමින් වසර 2000 සැප්තැම්බර් 28 වැනිදා මීටර 200 (කාන්තා) ඉසව්වේ අවසන් තරගයට නිර්දේශ ලබා ගනිමින් එහිදී ලෝකඩ පදක්කම තත්පර 22.28 කට දිනා ගත්තේ වසර 52 කට පසුව ශ්‍රී ලංකාවට දෙවැනි ඔලිම්පික් පදක්කම හිමි කර දෙමිනි.

එහෙත් සුසන්තිකා සමග අවසන් තරගයට සහභාගි වෙමින් තත්පර 21.84 කට ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ඇමෙරිකානූ සුපිරි ධාවන ශූරී මේරියන් ජොන්ස් වසර 2007 දී  තහනම් උත්තේජක භාවිතයට තමන් හුරුව සිටි බවට පිළිගත් බැවින් ඇගේ සිඩ්නි ඔලිම්පික් ජයග්‍රහණයද අවලංගු කෙරුණි.

ඒ හේතුවෙන් පසුව සංශෝධනය කෙරුණු 2000 සිඩ්නි ඔලිම්පික් මීටර 200 (කාන්තා) ඉසව්වේ දෙවැනි ස්ථානයට හිමි රිදී පදක්කම ඇයට ප්‍රදානය කෙරුණි.ඒ හේතුවෙන් සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයට එක් වන්නේ රිදී පදක්කම්ලාභිණියක් ලෙසය.

1975 දෙසැම්බර් 17 වැනිදා උපන් සුසන්තිකා සිඩ්නි ඔලිම්පික් පදක්කම දිනා ගන්නා විට ඇය 24 හැවිරිදිය.මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටින ඇය මෙම වසරේ දෙසැම්බර් 17 වැනිදාට 50 වැනි වියට පා තබයි.

1948 ඩන්කන් වයිට් ගෙන් පසුව ඔලිම්පික් පදක්කමක් දිනා ගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා ඇයයි.සුසන්තිකා මේ දක්වා ඔලිම්පික් පදක්කමක් දිනූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව පමණක් නොව ලෝක ශූරතා පදක්කමක් මෙතෙක් දිනූ  එකම ශ්‍රී ලාංකිකයාත් ඇයයි.ඇය තරග බිමෙන් 2009 දී සමු ගන්නා විට ලෝක ශූරතා රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් පරිදි ලෝක ශූරතා පදක්කම් දෙකක්ම දිනා ගැනීමට සමත්ව තිබුණි.

ඇගේ සුපිරි දක්ෂතා නිසාම පසු කාලයේදී ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ඇය ආසියාවේ කළු වෙළඹ යන අන්වර්ථ නාමයෙන් හැදින් වූවාය.වසර 2022 ටෝකියෝ ඔලිම්පික් උළෙල දක්වා  සුසන්තිකාගේ 2000 සිඩ්නි ඔලිම්පික් පදක්කම පැවැතියේ දකුණු ආසියාතිකයෙකුගේ එතෙක් පැවැති එකම ඔලිම්පික් පදක්කම ලෙසය.

ඇය පසු ගිය වසරේ (2024) අග භාගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශිකාවක් ලෙස සේවය කරමින් සිටින අතර වසර දෙකකට නිවාඩු දමා මෙල්බන් බලා පිටත්ව ගියාය.මේ වන විට ඇය එහි පදිංචිව සිටියි.

 

සිඩිනි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී වසර 2000 සැප්තැම්බර් 28 වැනිදා පැවැති මීටර 200 (කාන්තා) ඉසව්වේ පදක්කම්ලාභීන් තිදෙනා

1මේරියන්ස් ජොන්ස් (ඇමැරිකාව - තත්පර 21.84)

2. පර්ලින් ඩේවිස් තොම්සන් (බහමාස් - 22.27)

3 සුසන්තිකා ජයසිංහ (ශ්‍රී ලංකාව -22.28)

 

එහි සංශෝධිත තරග ප්‍රතිපලයට අනුව පදක්කම්ලාභීන් තිදෙනා

1පර්ලින් ඩේවිස් තොම්ප්සන් (බහමාස් - තත්පර 22.27)

2 සුසන්තිකා ජයසිංහ (ශ්‍රී ලංකාව - 22.28)

3 බෙවර්ලී මැඩොනල්ඩ් (ජැමෙයිකාව - 22.35)


අදහස් (1)

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමට වසර 25 යි
  • fairoos Sunday, 28 September 2025 12:07 PM

    මෙවැනි ක්‍රීඩිකාවන් බිහිකිරීමට ලංකාවට බැරිවුණු එක ගැන ඉතාම කණගාටුයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.