
(නාමල් පතිරගේ)
ජාතික විගණන කාර්යාලයේ විමර්ශනයකින් අනාවරණය කරගෙන ඇතැයි කියන සුනාමි ආධාර මුදල් අවභාවිත කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් කෝප් කමිටුව වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පෙරේදා (3 වැනිදා) කළ කැඳවීම් හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන්ට කෝප් කමිටු සභාපතිවරයා එසේ දැනුම් දී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඊයේ මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබිණ.
චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෝප් කමිටුවේ පෙරේදා රැස්වීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර්, එහි ලේකම් උපාලි හේවගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළු දෙපාර්ශ්වයේ නීති, මූල්‍ය හා පරිපාලන අංශවල ඉහළ පෙළේ නිලධාරීහු රැසක් ද සහභාගි වී සිටියහ.
සුනාමි මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු කළමනාකාර මණ්ඩලයේ සභාපති මනිලාල් ප්‍රනාන්දු මහතාට චෝදනා එල්ල විය.
කෙසේ වුවත් එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාමට තරම් කරුණු හෙළිවී නැතැයි රජයේ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් සිය නිගමනය ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය.
මෙසේ අවභාවිත කර ඇතැයි දක්වා තිබෙන සුනාමි ආධාර මුදල් අතරට යුරෝ 40,400 ක් (එකල වටිනාකම අනුව ශ්‍රී ලංකා රුපියල් 62,87,670 ක්), ඩොලර් 260,000 ක් (එකල වටිනාකම අනුව රුපියල් 2,78,000,00 ක්) සහ තවත් ශ්‍රී ලංකා රුපියල් කෝටියකට ආසන්න මුදලක් ද ඇතුළත් වේ. මෙම මුදල් සියල්ලේම එකතුව ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි හතර හමාරකට ආසන්නය.
මෙම අගයන් ඇත්තේ ඩොලරයේ වටිනාකම රුපියල් 107 ක් ලෙසින් සැලකීමෙනි. එහෙත් ඩොලරයේ වත්මන් වටිනාකම රුපියල් 200 ඉක්මවයි.
කෝප් කමිටුවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, රවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමර, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී. දොලවත්ත, බී.වයි.ජී. රත්නසේකර, එස්. රාසමානික්කම් යන මහත්වරු ද පෙරේදා පාපන්දු සම්මේලන ප්‍රධානීන් කැඳවූ රැස්වීමට සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කටයුතු සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු ලුහුඬින් මෙසේය.
පාපන්දු නිලවරණය පැවැත්වීම වෙනුවෙන් නිලවරණ කමිටුවේ සභාපතිට රුපියල් 750,000 ක් හා එහි සෙසු සාමාජිකයන්ට රුපියල් 60,000 ක් බැගින් ගෙවා ඇතැයි කියන සිදුවීම. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා සති දෙකක් ඇතුළත කෝප් කමිටුවට වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කර තිබේ.
පාපන්දු සම්මේලනයේ හිටපු මුදල් කළමනාකරුවකු විසින් රුපියල් හාරකෝටි හැට අට ලක්ෂයකට වැඩි වන (4,68,60,672) මුදලක් මෙතෙක් අය කර ගැනීමට කටයුතු නොකිරීම. මේ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අප්‍රසාදය පළ කර ඇති අතර ඒ පිළිබඳව වහා සොයා බලා කාරක සභාවට දැනුම් දෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට නියම කර තිබේ.
පාපන්දු සම්මේලනය විසින් තරගාවලි හා ක්‍රීඩා සමුළු පැවැත්වීම සඳහා සංවිධායකයන්ට ලබාදී තිබුණු නමුත් පියවා නොතිබුණු අත්තිකාරම් මුදල් වල එකතුව රුපියල් ලක්ෂ 36 කට වැඩි බව අනාවරණය වී තිබේ. ඒවා 2018 වසර සඳහා රුපියල් ලක්ෂ 22 කට වැඩි (22,52,067) හා 2019 වසර සඳහා රුපියල් ලක්ෂ 14 කට වැඩි (14,65,997) බව හෙළිදරව් වී තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව කඩිනමින් සංශෝධනය කර විධායක සභාවේ නිල කාලය වසර හතරක් දක්වා දීර්ඝ කිරීම.
පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙන තුරු එතෙක් සභාපතිවරයා විසින් විධායක සභාවට පත් කෙරෙන සාමාජිකයන් 18 දෙනකු නිර්දේශ කිරීම තවදුරටත් හිස්ව තබන ලෙස නියම කිරීම.
පාපන්දු සම්මේලනය 2030 වසර දක්වා සංයුක්ත සැලැස්මක් සකස් කර තිබුණද එය විධායක කමිටුවෙන් අනුමත කර නොතිබීම.
වසර 2017 සිට 2020 දක්වා තවත් අතුරු ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර තිබුණ ද එම සැලසුම් විධායක සභාවේ අනුමැතියට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුව පාපන්දු සම්මේලනයෙන් ප්‍රශ්න කළේය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.