Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සුදුසුකම් ලැබීමේ වටය අත්හිටුවයි
2022 කාන්තා ලෝක කුසලාන තරගාවලිය

සුදුසුකම් ලැබීමේ වටය අත්හිටුවයි

editorial - 2021 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(දමින්ද විජේසූරිය)

සිම්බාබ්වේ රාජ්‍යයේ හරාරේ නුවරදී පැවැත්වෙමින් තිබූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලිය අතර මගදී නතර කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අද (27 වැනිදා) තීරණය කළේය. දකුණු අපි‍්‍රකාවෙන් සොයාගන්නා ලද කොරෝනා වයිරසයේ නවතම ප‍්‍රභේදයෙන් ඇතිවියහැකි බලපෑම අවම කිරීම සඳහා දකුණු අපි‍්‍රකානු රටවල පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් තරගාවලිය අතර මග නතර කර තිබේ.

පසුගිය 23 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 82 ක ජයක් වාර්තා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 2 ක් සමග 0.947 ක ශුද්ධ ලකුණු වේගයක් ලබාගත්තේය.

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද පැවැති තරගය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම හරාරේ කී‍්‍රඩාංගණයට ගියද ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොරෝනා වයිරසය අසාදනය වී තිබූ හෙයින් තරගය නොපැවැත්විණ. ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමේ සිටින කොරෝනා වයිරසය ආසාදිතයන් සංඛ්‍යාව 6 ක් බව ද වාර්තා වෙයි.

තරගයට සහභාගි වීම කොදෙව් කණ්ඩායම විසින් ප‍්‍රතික්ෂේප කරන ලද අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයට සහභාගි නොවී ආපසු නවාතැන් ගත් හෝටලයට ගමන් කර ඇත.

ලබන වසරේදී (2022) පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් නොලබන නමුත් 2024 දී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 10 ක් එකතුකර ගන්නා බැවින් අද වන විට කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 10 වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම 2024 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා තිබේ.

සුදුසුකම් තේරීමේ තරගාවලිය අත්හිටවූ බැවින්, ලෝක කුසලාන තරගාවලියේ කොන්දේසි පරිදි අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 2022 කාන්තා ලෝක කුසලාන තරගාවලියට යන කණ්ඩායම් 3 තෝරා ගැණින. ඒ අනුව බංග්ලාදේශය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ලබන වසරේදී නවසීලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට එක්වනු ඇත.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් අනුව (2021 නොවැම්බර් 11 වැනිදා යාවත්කාලීන කිරීම්) බංග්ලාදේශය (5), බටහිර ඉන්දීය කොදෙව් (7) සහ පාකිස්තානය (8) යන රටවල් ශී‍්‍ර ලංකාවට (10) වඩා ඉදිරියෙන් සිටිති.

”මේ තරගාවලිය අතරමගදී නතර කරන්නට සිදුවීම ඉතාම කණගාටුදායකයි. ඒත් එහෙම කරනවා හැර වෙනත් කරන්න දෙයක් තිබ්බේ නෑ. මොකද අපි‍්‍රකානු රටවල් ගණනාවකම හදිසියේ පැනවූ සංචරණ තහනම නිසා, මේ කී‍්‍රඩිකාවන්ට ගෙදර යන්න බැරිවීමේ බරපතළ අවදානමක් තියෙනවා” යයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ඉසව් සම්බන්ධීකරණ කමිටුවේ ප‍්‍රධානී කි‍්‍රස් ටෙට්ලි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

”අපි මේ තරගාවලිය ඉදිරියට ගෙනියන්න විකල්ප කීපයක්ම බැලූවා. ඒත් ඒවා එකක්වත් කි‍්‍රයාත්මක කරන්න පුළුවන් මට්ටමේ නෑ. ඒ නිසා අපි හැකි තරම් ඉක්මනින් මේ කණ්ඩායම් සියල්ලම සිම්බාබ්වේ රාජ්‍යයෙන් පිටත්කර යවනවා” යයි ද ටෙට්ලි මහතා වැඩිදුරටත් පැවසීය.

කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන වසරේ මාර්තු 4 වැනිදා සිට අපේ‍්‍රල් 3 වැනිදා දක්වා නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතය.  ඕස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, එංගලන්තය, ඉන්දියාව, බංග්ලාදේශය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තානය යන රටවල් එම තරගාවලියට සහභාගි වෙති.

 


අදහස් (0)

සුදුසුකම් ලැබීමේ වටය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.