Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සී.එච්. ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

සී.එච්. ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

editorial - 2025 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) හත්වැනි සතියේ තරගයක් ලෙස සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර අද (28 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 29-13 ක ජයක් වාර්තා කිරීමට සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත් විය. සී.එච්. කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය විය.

නාවික හමුදාවේ නිවස්න ක්‍රීඩාංගණය වූ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධයේදී නිමාවට පත් වන විට සී.එච්. කණ්ඩායම ලකුණු 12-03 ක් ලෙස පෙරමුණ ගත්තේය. එහිදී සී.එච්. ක්‍රීඩකයන් ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර නාවික හමුදා ක්‍රීඩකයන් ලකුණු ලබාගත්තේ දඬුවම් පහරක් මගිනි.

දෙවැනි අර්ධයේදී ගෝල දිනුමක් සහ උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහරක් මගින් තවත් ලකුණු 17 ක් රැස්කිරීමට සී.එච්. ක්‍රීඩකයන් සමත් වෙද්දී, නාවික හමුදා ක්‍රීඩකයන්ට උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. ඒ අනුව සී.එච්. කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 29-13 ක පහසු ජයක් හිමිවිය.

තරගයේ 11 වැනි විනාඩියේදී අනතුරුදායක ක්‍රීඩා විලාශය හේතුවෙන් සෙනුර පීරිස් රතු කාඩ්පතක් ලබා තරගයෙන් ඉවත්ව යෑමත් සමග නාවික හමුදාවට පැයකට අධික කාලයක් (විනාඩි 69 ක්) ක්‍රීඩකයන් 14 දෙනෙකුගෙන් තරග වැදීමට සිදුවිය. 52 වැනි විනාඩියේදී සී.එච්. කණ්ඩායමේ දේවින්ද රත්නායකද විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබීය.

තිළිණ වීරසිංහ 19 වැනි විනාඩියේදී සාර්ථක කරගත් දඬුවම් පහරත් සමග නාවික හමුදාව තරගයට අවතීර්ණ වූ නමුත් පළමු අර්ධය නිමාවන තෙක්ම ඔවුන් යළිත් හිස එසවීමට සී.එච්. ක්‍රීඩකයෝ ඉඩක් ලබා නොදුන්හ. 24 වැනි විනාඩියේදී තනූජ මඳුරංගත්, 33 වැනි විනාඩියේදී පුලස්ති දසනායකත් සී.එච්. කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළ අතර ඉන් පළමු වැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 4 ක් ගතවීමටත් මත්තෙන් ක්‍රිස්ටියන් ඩි’ ලයිල් තවත් උත්සාහක දිනුමක් ලබාගනිමින් සී.එච්. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 17 ක් දක්වා ඔසවා තැබීය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ තිළිණ වීරසිංහ 47 වැනි විනාඩියේදී නාවික හමුදාවට හිමි වූ දඬුවම් පහරක් සහ 70 වැනි විනාඩියේදී ඉසුරු පෙරේරා ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගනිමින් 17-13 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය අඩු කළේය.

කෙසේ වුවත් තරගයේ අවසන් විනාඩි 5 තුළ එනම් 75 වැනි සහ 80 වැනි විනාඩිවලදී පිට පිටම උත්සාහක දිනුම් ද්විත්වයක් ලබාගත් ‍ෆීජී ක්‍රීඩක කෝලි තමනිකාලු තමා ක්‍රීඩා කරන සී.එච්. කණ්ඩායමට තවත් ලකුණු 10 ක් එක් කළේය. ඉන් දෙවැනි උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජනිත් චන්දිමාල් සිය කණ්ඩායමට ලකුණු 29-13 ක පහසු ජයක් ලැබීම සඳහා දායකත්වය ලබාදුන්නේය.  


අදහස් (0)

සී.එච්. ක්‍රීඩකයෝ නාවිකයන් මුහුදේ ගිල්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.