
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ (2025-26) රග්බි ලීගයේ 9 වැනි සතිය නිමාවට පත්වන විට ලකුණු 36 ක් ලබා තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සමත්ව සිටියි.
මේ දක්වා තරග 7 කට ක්‍රීඩාකර ඇති ඔවුන් ඉන් තරගය 6 ක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව ඇතත් තරග 6 කදීම ප්‍රසාද ලකුණ බැගින් හිමිකරගෙන තිබේ.
සී.ආර්. කණ්ඩායමට වඩා පියවරක් පසුපසින් සිටින මහනුවර ක්‍රීඩා සමාජය මේ වන විට තරග 6 කට සහභාගි වී තරග 4 ක් ජයගෙන, තරගයක් පරාජය වෙමින්, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්කරගෙන ලකුණු 29 කට හිමිකම් කියයි. ඔවුන් සහභාගි වූ සෑම තරගයකදීම ප්‍රසාද ලකුණක් හිමිකරගෙන තිබේ. කෙසේ වුවත් 9 වැනි සතියේදී සී.ආර්. කණ්ඩායම හමුවේ පරාජය වීම හේතුවෙන් කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු පරතරය 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
නමවැනි සතියේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම පරාජය කිරීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් වූ අතර එම ජයත් සමග ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැව්ලෝක්ස් කණ්ඩායමට හැකිවිය. මේ වන විට තරග 6 කට සහභාගි වී ඇති ඔවුන් තරග 4 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වෙමින්, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරගෙන ලකුණු 27 ක් ලබා සිටියි. ඊට ප්‍රසාද ලකුණු 4 ක්ද ඇතුළත් වේ.
හැව්ලොක්ස් කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමග සී.එච්. කණ්ඩායම ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා පසුබැස ඇත. තරග 6 කට සහභාගි වී තරග 4 ක් ජයගෙන, එක් තරගයක් පරාජයට පත්ව, සෙසු තරගය ජය පැරදුමෙන් තොරව නිමා කරගෙන සිටින ඔවුන්ද ලකුණු 27 කට හිමිකම් කියන්නේ ප්‍රසාද ලකුණු 4 ක්ද සමගිනි. කෙසේ වුවත් ලබාදුන් සහ ලබාගත් ලකුණු පරතරය අනුව ඔවුහු හැව්ලොක්ස් කණ්ඩායමට වඩා පියවරක් පසුපසින් සිටිති.
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත.
කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.