Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සියලුම වොලිබෝල් තරගාවලි අතහැර දමයි

සියලුම වොලිබෝල් තරගාවලි අතහැර දමයි

editorial - 2021 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොවිඩ් වසංගතයේ  බලපෑම හේතුවෙන් සියලුම දේශීය වොලිබෝල් තරගමාලා පිට පිටම දෙවැනි වසරටත් අත්හිටුවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව 2021 වසරට නියමිත ජාතික ශූරතා තරගාවලිය ඇතුළුව සම්මේලනය මෙහෙයවන වොලිබෝල් තරග මාලා අටක් අත්හැර දැමීමට සිදුව ඇතැයි වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පවසයි.

ජාතික ශූරතා තරගාවලිය, ජනාධිපති රන් කුසලාන තරගාවලිය, වයස 23න් පහළ තරගාවලිය, ඩී.එස්.අයි. පාසල් තරග මාලාව, සුපර් ලීග් තරගාවලිය, අගමැති කුසලාන තරගාවලිය, රූපවාහිනී - තරුණ සේවා තරගාවලිය, වෙළෙඳ සේවා තරගාවලිය මෙසේ අත්හැරීමට සිදුව තිබෙන ප්‍රධානතම වොලිබෝල් තරග මාලා වේ.

මින් සුපිරි මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණු ගැලැක්සි කුසලාන ලීග් තරගාවලිය 2019 වසරට පමණක් පැවැත්වූවකි. ‘අගමැති’ කුසලාන තරගාවලිය පළමු වරට හඳුන්වා දෙමින් පසුගිය වසරේ දෙසැම්බර් 22-23 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබියදී කල් දමනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ද වන වොලිබෝල් ක්‍රීඩාවේ නිරත  ක්‍රීඩක ක්‍රීඩිකාවන් වඩාත්ම දුෂ්කරතාවයට පත්ව ඇත්තේ පසුගිය හා මෙම වසර දෙකේදීම ජාතික යොවුන් ක්‍රීඩා උළෙල නොපැවැත්වීමෙනි.

වොලිබෝල් සම්මේලනයේ නව සභාපති කංචන ජයරත්න මහතාට මේ දක්වා කළ හැකි වූ එකම කාර්යය වන්නේ තලවතුගොඩ දී මාධ්‍ය හමුවක් කැඳවා සිය වැඩසටහන් මාලාව ප්‍රකාශයට පත් කිරීම පමණි.

වඩාත්ම කනගාටුදායක කරුණ වන්නේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට සංවර්ධන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 44ක මුදලක් අනුමත කර තිබියදී කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කිසිදු ප්‍රවර්ධන වැඩසටහනක් හෝ තරගාවලියක් ආරම්භ කිරීමට නොහැකි වීමයි. ජාතික ක්‍රීඩාව ලෙස වොලිබෝල් ක්‍රීඩාවට ඉහළම අනුග්‍රහයක් ලබාදෙමින් වත්මන් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා දකුණු පළාත් ක්‍රීඩා සංකීර්ණය ලෙස ගාල්ල දඩැල්ලේ ඉදි වූ ක්‍රීඩා සංකීර්ණය ඉදිරි තිස් අවුරුදු කාලයක් සඳහා වොලිබෝල් සම්මේලනයට පැවරීමට ද ක්‍රියා කළේය.

 කොවිඩ් වසංගතයෙන් දේශීය වෙරළ වොලිබෝල් තරග මාලාව සඳහා ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. කෙසේ වුවත් වෙරළ වොලිබෝල් ක්‍රීඩාව කොවිඩ් නිවාරණ නිර්දේශ අනුව ‘බී’ කාණ්ඩයට ඇතුළත් දුරස්ථභාවය වඩාත් රැකෙන (අඩු අවදානම් සහිත) ක්‍රීඩා ඉසව්වක් ලෙස නිර්දේශ වී තිබේ.  වෙරළ වොලිබෝල් තරගයක එක පිලකට අයත් ක්‍රීඩකයන් හෝ ක්‍රීඩිකාවන් ගණන 2 කි.

මේ වනවිට වොලිබෝල් හා වෙරළ වොලිබෝල් ජාතික සංචිතවල කටයුතු ද අත්හිටුවා තිබෙන අතර තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් තරග මාලාවේ දිස්ත්‍රික් තරග වටය ගම්පහ නගර සභා පිටියේදී පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්වෙමින් තිබෙන අතර සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අතරමග අත්හිටුවීමට සිදුවිය.

2020 ජනාධිපති රන් කුසලාන තරගාවලියේ ජාතික තරග වටය පසුගිය මැයි 2-3 යන දිනවල දඩල්ලේදී පැවැත්වීමට නියමිතව තිබියදී කල් දමනු ලැබීය.

කෙසේ වුවත් වසර 2020 ට නියමිත ජාතික ශූරතා මංචි කුසලාන වොලිබෝල් තරග මාලාවේ අවසන් මහා තරග පසුගිය මාර්තු 13 වැනිදා මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පවත්වා අවසන් කිරීමට වොලිබෝල් සම්මේලනය සමත් විය.

 


අදහස් (0)

සියලුම වොලිබෝල් තරගාවලි අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.