Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සැලසුම් සහගත ගමනකින් රාජස්තානයට ජය
අයි.පී.එල්.- 2022

සැලසුම් සහගත ගමනකින් රාජස්තානයට ජය

editorial - 2022 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සැලසුම් සහගත අයුරින් ඉලක්කය කරායාම නිසා අපහසුවකින් තොරවම පන්ජාබ් පිල පරාජය කළ රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයෝ මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (07 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී කඩුලු 6 ක ජයක් ලබාගත්හ.  

ලකුණු 190 ක ඉලක්කයක් කරා යාමේදී සිය ඉනිම සැලසුම් කළ රාජස්තාන් පිතිකරුවෝ ඕවර 5 දී (56/1), ඕවර 10 දී (95/2) සහ ඕවර 15 දී (143/3) අපේක්‍ෂිත කඩයිම් පසුකළහ. අවසන් ඕවර 5 දී කඩුලු 7 ක් අතැතිව සිටි රාජස්තාන් පිලේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ පන්දු 30 කදී ලකුණු 47 කි.

දෙව්දූත් පඩික්කාල් සහ ෂිම්රන් හෙට්මයර් ඉලක්කය කරා ආසන්න වෙද්දී පඩික්කාල් දැවීගිය නමුත් ජයග්‍රහණයට එයින් තර්ජනයක් නොවිණ. පිතිකරුවන්ගේ කෙළිබිමක් වූ වැන්කඩේ තණතීරුවෙන් පන්දු යවන්නන්ට එතරම් සහයෝගයක් නොලැබිණ.

ජොනී බෙයාර්ස්ටෝ (56) සහ ශිකාර් ධවාන් වේගවත් ආරම්භයක් ලබාගත් නමුත් මැද පෙළ පිතිකරුවන් තරමක් දුරට පාලනය කරගැනීමට යුෂ්වේන්ද්‍ර චාහල්ට හැකිවිය. එහි ප්‍රතිඵලයක් ලෙසින්, පන්ජාබ් පිල වෙනුවෙන් ඇදී ආ ලකුණු ගංගාව නතර කර ගැනීමට රාජස්තාන් නායකයාට අවස්ථාව ලැබිණ.

චාහල්ගේ පන්දු යැවීම අවසන් වීමත් සමගින් නැවතත් ක්‍රියාකාරී වූ පන්ජාබ් පසුපෙළ පිතිකරුවෝ අවසන් ඕවර 5 දී ලකුණු 70 ක් උදුරා ගනිමින් නියමිත ඕවර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 189 ක් ලබාගත්තේ රාජස්තානයේ ඉලක්කය 190 ක් කරමිනි.

පළමු ඕවර 5 නිමාවන විට කිසිවකු නොදැවී ලකුණු 47 ක් ලබා සිටි පන්ජාබ් පිල එතැන් සිට ගියේ මන්දගාමී ගමනකි. පන්දු 32 ක් අතරේ පංජාබ් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 42 කි.

දැවී ගිය පිතිකරුවන් දෙදෙනා අතර පන්දු 18 කින් ලකුණු 27 ක් ලබාගත් භානුක රාජපක්‍ෂත් සිටියද, ගුග්ලි පන්දු යවන්නා වන යුෂ්වේන්ද්‍ර චාහල් මෙම කාලසීමාව ඇතුළත කෙරුමා වී සිටියේය. බෙයාර්ස්ටෝ මෙන්ම භානුකවත් දවාගත් චාහල්, ලකුණු 28 කට කඩුලු 3 ක් දවාගත් හෙයින් තරගයේ පාලනය රාජස්තාන් පිල වෙත  තිබිණ.

නායක අගර්වාල් දැවී යාමෙන් පසුව පැමිණි ජිතේෂ් ෂර්මා, පන්දු 18 කින් ලකුණු 38 ක් උදුරා ගත්තේය. මේ වන විට චාහල්ගේ පන්දු යැවීම අවසන් වී තිබූ බැවින් ලයාම් ලිවිංග්ස්ටන් ලකුණු 22 ක් ලබාගත්තේ පන්දු 14 කිනි.


පන්ජාබ් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 189
(ජොනී බෙයාර්ස්ටෝ 56, ශිකාර් ධවාන් 12, භානුක රාජපක්‍ෂ 27, මයාන්ක් අගර්වාල් 15, ජිතේෂ් ෂර්මා නොදැවී 38, ලයාම් ලිවිංග්ස්ටන් 22, යුෂ්වේන්ද්‍ර චාහල් 28/3)

රාජස්තාන් රෝයල්ස් - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 190
(යශස්වී ජයිස්වාල් 68, ජොස් බට්ලර් 30, සංජු සැම්සන් 23, දෙව්දූත් පඩික්කාල් 31, ෂිම්රන් හෙට්මයර් නොදැවී 31, අර්ශ්දීප් සිං 29/2)

 

- 213


අදහස් (0)

සැලසුම් සහගත ගමනකින් රාජස්තානයට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.