Last Update  :  2025-11-21 19:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ස්ථාන 6 කට රටවල් 18 ක් සටනේ
පාපන්දු ලෝක කුසලාන - 2026

ස්ථාන 6 කට රටවල් 18 ක් සටනේ

editorial - 2025 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ (2026) ජූනි මස 11 වැනිදා සිට ජූලි මස 19 වැනිදා දක්වා උතුරු ඇමරිකානු රටවල් 3 ක ක්‍රීඩාංගණ 16 කදී පැවැත්වීමට නියමිත 23 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීම සඳහා තවත් රටවල් 6 කට අවස්ථාව පවතින අතර ඒ සඳහා රටවල් 18 ක් සටන් වදිමින් සිටියි. 

මෙම තරගාවලිය සඳහා රටවල් 48 ක් සහභාගිවීමට නියමිත අතර මේ වන විට රටවල් 42 ක්ම ඊට සුදුසුකම් ලබා සිටියි. ආසියානු කලාපයේ රටවල් 8 ක්, අප්‍රිකා කලාපයේ රටවල් 9 ක්, උතුරු සහ මධ්‍යම ඇමරිකානු කලාපයේ රටවල් 6 ක්, දකුණු ඇමරිකානු කලාපයේ රටවල් 6 ක්, යුරෝපා කලාපයේ රටවල් 12 ක් සහ ශාන්තිකර කලාපයේ රටක් ඒ අතර වේ. 

එම රටවල්වලට අමතරව යුරෝපා කලාපයේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගවටයෙන් තවත් කණ්ඩායම් 4 කට සහ අන්තර් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගවටයෙන් තවත් කණ්ඩායම් 2 කට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා අවස්ථාව පවතී. එම සුදුසුකම් ලැබීමේ තරගවට දෙක ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

යුරෝපා කලාපයේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගවටය සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් වේල්සය, බොස්නියාව, ඉතාලිය, උතුරු අයර්ලන්තයද, ‘බී’ කාණ්ඩයෙන් යුක්රේනය, ස්වීඩනය, පෝලන්තය සහ ඇල්බේනියාවද, ‘සී’ කාණ්ඩයෙන් ස්ලෝවැකියාව, කොසෝවෝව, තුර්කිය සහ රුමේනියාවද, ‘ඩී’ කාණ්ඩයෙන් චෙක් ජනරජය, අයර්ලන්තය, ඩෙන්මාර්කය සහ උතුරු මැසඩෝනියාවද තරගවදිනු ඇත. එම කාණ්ඩ 4 හි ශූරයන් බවට පත්වන කණ්ඩායම් 4 ටම ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව හිමිවනු ඇත. 

අන්තර් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගවටය කණ්ඩායම් 3 බැගින් වූ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර එම කාණ්ඩ දෙකේම ශූරයන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබනු ඇත. කොන්ගො රාජ්‍යය, නිව් කැලඩෝනියාව සහ ජැමෙයිකාව එහි පළමු කාණ්ඩය යටතේද, ඉරාකය, බොලීවියාව සහ සුරිනමේ රාජ්‍යය දෙවැනි කාණ්ඩය යටතේද මෙක්සිකෝවේදී අන්තර් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගවටයට සහභාගි වීමට නියමිතය. 

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේදී කණ්ඩායම් 4 බැගින් වූ ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ‘ඊ’, ‘එෆ්’, ‘ජී’, ‘එච්’, ‘අයි’, ‘ජේ’, ‘කේ’ සහ ‘එල්’ යන කාණ්ඩ 12 යටතේ තරග පැවැත්වෙනු ඇත. තරගාවලියේ සත්කාරකත්වය දරන රටවල් වන මෙක්සිකෝව ‘ඒ’ කාණ්ඩය යටතේද, කැනඩාව ‘බී’ කාණ්ඩය යටතේද, ඇමරිකාව ‘ඩී’ කාණ්ඩය යටතේද මූලික වටයේදී තරග වැදීමට නියමිත අතර සෙසු රටවල් තවමත් කාණ්ඩගත කර නොමැත. 

-036 


අදහස් (0)

ස්ථාන 6 කට රටවල් 18 ක් සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.