
(දමින්ද විජේසූරිය)
සනත් ජයසූරිය මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට සුදුසු ආදේශකයකු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා (28 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයෙන් පසුව සනත් ජයසූරිය මහතා සිය පුහුණුකරු ධූරය හැර ගියේය.
“විදේශීය පුහුණුකරුවන් කිහිප දෙනකු සමග අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.... මේ වෙලාවෙදි එයාලා කවුරුන්ද කියලා නම් වශයෙන් කියන්න බෑ. ඒත් සාකච්ඡා සම්බන්ධයෙන් අවසන් තීරණයකට ආව ගමන්ම අපි ඒ ගැන නිවේදනයක් නිකුත් කරනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පසුගිය ඉරිදා (1 වැනිදා) ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් පතට පවසා තිබිණ.
පුහුණුකරුවකු හදිසියේ ඉල්ලා අස්වන මෙවැනි අවස්ථාවලදී බොහෝ විට සිදුවන්නේ සාකච්ඡා මාර්ගයෙන් සුදුසු පුහුණුකරුවකු තාවකාලිකව සොයා ගැනීමයි. ඉන් අනතුරුව කණ්ඩායමට ඉදිරියට යාමට ඉඩහැර, එම තාවකාලික පුහුණුකරුවාගෙන් මෙන්ම වෙනත් පුහුණුකරුවන්ගෙන් ද අයැදුම් පත් කැඳවා ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ස්ථිර පත්වීමක් දීම මෙතෙක් පැවැති ක්‍රමවේදය වී තිබිණ.
පල්ලෙකැළේ තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවට පැමිණි සනත් ජයසූරිය මහතාට ප්‍රශ්න වැලක් ඉදිරිපත් විය. මේ නිමා වූයේ ඔබ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ අවසන් තරගයද ? යයි කළ විමසීමට පිළිතුරු දෙමින් සනත් ජයසූරිය මහතා මෙසේ කියා සිටියේය.
“මම හිතන්නේ එහෙම තමා”
“මම හිතුවා මේ තනතුර වෙනත් කාට හරි දෙන්න ඕන කියලා. ඒක හින්දා තමයි, මීට මාස දෙකකට විතර ඉස්සර වෙලා ඉඳලා, (එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී) මෙතැන එල්ලිලා ඉන්න මගේ අදහසක් නෑ කියලා මම කිය කියා හිටියේ”
“මම තීරණයකට ඇවිල්ලා තමයි එහෙම කිව්වේ”
“මම හිතුවේ ලෝක කුසලාන තරගාවලියෙදි හොඳ දෙයක් කරලා මට පුහුණුකරු තනතුරෙන් සමුගන්න පුළුවන් වේවි කියලයි. ඒත් මම හිතාගෙන හිටපු විදිහට ඒක කරගන්න බැරිවුණා. මට ඒ ගැන විශාල කණගාටුවක් දැනෙනවා” යයි සනත් ජයසූරිය මහතා පසුගිය සෙනසුරාදා පල්ලෙකැළේදී පැවසීය.
වසර 2023 ලෝක කුසලාන තරගාවලියේදී මුහුණු දුන් දරුණු පරාජයන් වැලකට පසුව, (තරග 9 කිදී පරාජයන් 7 ක් - තරගාවලියේ කණ්ඩායම් 10 ක් අතුරින් 9 වැනි ස්ථානය), 2023 දෙසැම්බර් මාසයේදී සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශකවරයකු ලෙසින් පත්කරන ලදි. මෙම කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි පුහුණුකරුවා වූ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා 2024 ජූනි මාසයේදී ඉල්ලා අස්වූයෙන් ටික කාලයක් තාවකාලිකව ශ්‍රී ලංකා කණඩායමේ පුහුණුකරුවා ලෙසින් සිටි සනත් ජයසූරිය මහතා 2024 ඔක්තෝබර් මාසයේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් පත්කරන ලදි.
“වසර එක හමාරක විතර කාලයක් තිස්සේ මේ කණ්ඩායම ඉදිරියට ගෙන යන්න මට පුළුවන් වුණා කියලා මට හිතෙනවා. මොකද, මම කණ්ඩායම බාරගන්නකොට අපි හිටියේ 8 සහ 9 වැනි ස්ථාන වල. අඩුතරමේ ශූරයන්ගේ කුසලාන (එක්දින) තරගාවලියට සුදුසුකම් ලබාගන්න වත් අපට බැරි වුණා. ඒත් මම ඒ කණ්ඩායම අංක 4 ස්ථානයට කැඳවාගෙන ආවා. ටෙස්ට් කණ්ඩායම (අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ) අංක 6 ට ගෙනාවා. විස්සයි-20 කණ්ඩායම අංක 6 හෝ 7 ස්ථාන වලට ගෙනාවා”
“මේ සේරම බැලුවාම, ආසන්න වශයෙන් අපට 50% ක විතර (නිවැරදි අගය - 45.33%) ජයග්‍රහණ ප්‍රතිශතයක් අපට තිබුණා. ඒත් මේ හැමදේම කළේ මම තනියෙන් නෙමේ. මගේ සහාය කාර්යමණ්ඩලය මට විශාල සහයෝගයක් දුන්නා. මම වැඩ පටන්ගත්ත පළමු දවසෙදිම මම එයාලට කිව්වේ මට උදව් කරන්න කියලයි. මොකද මම පුහුණුකරුවෙක් හැටියට පළපුරුද්දක් තිබුණ කෙනෙක් නෙමේ. ඒක ඔයාලා හැමෝම දන්නවා. ඒත් මම ගහපු ක්‍රිකට් එකත් එක්ක මම ඒ දේවල් හසුරුවා ගත්තා. ඒ ගැන මට සතුටුයි”
“කොහොම වුණත් ලෝක කුසලාන තරගාවලිය ඉවර වෙච්ච විදිහ ගැනනම් මට සතුටු වෙන්න බෑ. මට ඒ ගැන විශාල කණගාටුවක් තියෙනවා... මගේ කොන්ත්‍රාත්තුව ඉවර වෙන්නේ ජූනි මාසයේදී. මම තවමත් මගේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් බාරදීලා නෑ”
“මම ගිහිල්ලා එයාලා එක්ක කතා කරනවා මොකද කරන්නේ කියලා” යයි ද සනත් ජයසූරිය මහතා 28 වැනිදා තරගය අවසන පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගාවලිය ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලියකි. තරග 6 කින් සමන්විත මෙම තරගාවලිය මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය සාජා සහ ඩුබායි නගර වලදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. කෙසේ වෙතත් මේ වන විට පවතින මැද පෙරදිග යුද උණුසුම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීම බොහෝ සෙයින් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.