Last Update  :  2024-04-29 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story සංගාගෙන් උගත් හැටි සෑම් කරන් කියයි

සංගාගෙන් උගත් හැටි සෑම් කරන් කියයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඟ පන්දු යවන්නන්ගේ කෙළිමඬලක් වන් තණතීරුවක ලකුණු 300 සීමාවට ආසන්න වීම අති විශාල වාසියක් බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් කියයි.

“ඒක හරිම වැදගත්. අද හවස් වෙද්දී මේ තණතීරුව කොයි තරම් දඟ කැවුණාද කියලා ඔබ දකින්න ඇතිනේ...ලකුණු 300 ට ආසන්න වීම අපට නම් ලොකු දෙයක්” යයි ලකුණු 64 ක් ලබාගනිමින් තරගයේ වාසිය එංගලන්තය දෙසට ඇදගෙන ගිය සෑම් කරන් කීවේය. තරගයේ පළමු දින ක්‍රීඩාව නතර කිරීමෙන් පසුව පැවැති පුවත් පත් සාකච්ඡාවේදී සෑම් කරන් ඒබ ව කියා සිටියේය.

තේ පානයට පෙරම එංගලන්ත පිලේ කඩුලු 7 ක් ලකුණු 171 කට බිඳ වැටිණ. මෙම අවස්ථාවේදී එක්වූ සෑම් කරන් සහ අදිල් රෂීඞ් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක් එකතු කරමින් ලකුණු 200 න් ඔබ්බට තම කණ්ඩායම තල්ලු කරගෙන ගියහ. 9 වැනි කඩුල්ලත් ඉක්මනින් බිඳ වැටුණ නමුත් පසුබට නොවූ සෑම් කරන් අවසන් පිතිකරුවා වූ ජේම්ස් ඇන්ඩසන් මුවා කරගනිමින් 10 වැනි කඩුල්ලට ලකුණු 60 ක් එක් කළේය.

සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වන කෙවින් කරන්ගේ පුතුන් තිදෙනාගෙන් බාලයා වන සෑම් කරන් තවමත් 20 හැවිරිදි වියේ පසුවන්නෙකි. එහෙත් පසුගිය මාස කිහිපය ඇතුළත එංගලන්තය ලබාගත් ටෙස්ට් ජයග්‍රහණ 5 දීම සුවිශේෂී දායකත්වයක් දැක්වූ ක්‍රීඩකයෙකි.

වයස 15 න් පහළ සමයේ සිටම එංගලන්තයේ සරේ ප්‍රාන්තය නියෝජනය කරන සෑම් මෙතෙක් සහභාගි වූ ටෙස්ට් තරග හයේදී කළ ලකුණු රැස්කිරීම් සටහන් වන්නේ 20, 24, 63, 40, 78, 46, 0, 21, 48, නොදැවී 0 සහ 64 ක් වශයෙනි.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර සරේ පිල වෙනුවෙන් ක්‍රීඩා කළ කාලයේදී ඒ වන විට 18 වැනි වියේ සිටි සෑම් කරන්ද සරේ පිල නියෝජනය කළේය.

“එයා අපිත් එක්ක වසර කීපයක් හිටපු එකේ වටිනාකම නම් කියන්න බෑ. ලෝකයේ ඕනෑම පිතිකරුවෙක් එයා (සංගක්කාර) පන්දුවට පහර දෙන ආකාරයත්, තරගයේ එක එක වෙලාවලදි පවතින තත්ත්වය එක්ක ඔහු තමන්ව හසුරුවාගත් ආකාරයත් ඒ විදිහටම කරන්න කැමති වේවි....ඒ සේරටම වඩා, ඒ වගේ කෙනෙක් ක්‍රීඩකයන්ගේ කාමරයේ සිටින එක කොච්චර දෙයක්ද ?”

“ඔහු නියම චරිතයක්. ඔහු සරේ පිලේ හිටිය කාලයේදී අපි හොඳ මිත්‍රයින් වුණා....එයා දවසක් ඇර දවසක් වගේ ශතක ලබාගත්තා. අපි හැමදාම ඇහැව්වේ එකම ප්‍රශ්නය..”

“මම උත්සාහ කරන්නේ මගේ ස්වභාවික ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න. ඒත් සරේ පිලේ අපට කුමාර් විශාල උපකාරයක් වුණා විතරක් නෙමේ ඔහු විශිෂ්ට මිනිසෙක්” යයිද සෑම් කරන් කීවේය.

ගාල්ල ටෙස්ට් තරගයේදීත් එංගලන්ත පිලේ කඩුලු 6 ක් ලකුණු 164 කට ඇද වැටී තිබූ අවස්ථාවක කෝඩුකාර බෙන් ෆෝක්ස් සමග එක්වූ සෑම් කරන් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. පසුව එංගලන්ත පිල ලකුණු 300 සීමාවෙන් එතෙර කෙරුණේ එම සම්බන්ධතාවෙනි.

“තේ පානයට ඉස්සර වෙලා රෂ් (අදිල් රෂීඞ්) ලස්සනට පන්දුවට පහර දුන්නා. එයා නවත්වපු තැනින් පටන් ගන්නයි මට ඕනෑ කළේ. දැන් අපේ ලකුණු පුවරුවේ හොඳ ලකුණු සංඛ්‍යාවක් තියෙනවා” යයි පැවසූ කරන් ......“මේ ලකුණු සංඛ්‍යාව ලීචිට (ජැක් ලීච්ට) පන්දු යවන්න කදිම ලකුණු සංඛ්‍යාවක්” යයිද පැවසීය.

එංගලන්ත පිලට අලුතින්ම එක්ව සිටින වමත් දඟ පන්දු යවන්නා  වන ජැක් ලීච් අද සවස් යාමයේදී කෞෂාල් සිල්වා දවාගත්තේ ඔහුට සිතාගැනීමට වත් කාලයක් ඉතිරි නොකරමිනි.

අවසන් කඩල්ල වෙනුවෙන් පැවැති ලකුණු 60 ක සම්බන්ධතාව ගැන සෑම් කරන් කතා කළේ  මහත් උද්දාමයෙනි.

“අපි එතැන ඉඳන් හොඳ විනෝදයක් ලැබුවා”

“එයා (ජේම්ස් ඇන්ඩසන්) මට කිව්වේ ටිකක් තැන්පත් වෙලා ලකුණු ලබාගනිමු. ‘මාව විශ්වස කරන්න’ කියලා..කොහොම වුණත් තණතීරුවේ තියෙන පැළුම් එන්න එන්නම වැඩිවෙන වෙලාවක මේක ඉතාම වටිනා ලකුණු සංඛ්‍යාවක්” යයිද කරන් පැවසීය.

හෙට දවසේදී දඟ පන්දු යවන්නන් ගැන එංගලන්තය මහත් බලාපොරොත්තු තබා සිටී. එංගලන්ත පිලේ දඟ පන්දු යවන්නන් තිදෙනකු සිටින අතර ඔවුන් තිදෙනා තුන් ආකාරක පන්දු යවන්නෝ වෙති.

රංගන හේරත්ගේ ස්ථානය අත්කරගත් මාලින්ද පුෂ්පකුමාර කීවේ තරගයේ දෙවැනි දිනය වන හෙට දිවා ආහාරයෙන් පසුව තණතීරුව තව තවත් දඟ පන්දු යවන්නන්ට උපකාර කළ හැකි බවයි.

“අපේ ඉලක්කය ලකුණු 350 කට යන්න. ඒ වෙනුවෙන් අපට සැලසුමක් තියෙනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඕනා. ඒ සැලැස්මේදී දිමුත්ට ලොකු රාජකාරියක් තියෙනවා. මොකද ලකුණු අතර ඉන්න කෙනා ඔහු” යයිද මාලින්ද පැවසීය.


අදහස් (0)

සංගාගෙන් උගත් හැටි සෑම් කරන් කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.