Last Update  :  2025-06-30 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක්

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක්

ශනුක අරවින්ද - 2016 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලියේ සමස්ත ශූරයන් තෝරන තීරණාත්මක අවසන් අදියරේ තරගාවලිය ලෙස මේ මස 15 සහ 16 දිනවල කොළඹ තුරග තරග පිටියේ දී පැවැත්වෙන තරගාවලියට නම් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකොට තිබේ.

ආබාධයකට ලක්වී සිටීම නිසා මීට පෙර හොං කොං හී සහ දකුණු කොරියාවේ පැවැති පළමු සහ දෙවැනි අදියරේ තරගාවලි නියෝජනය නොකළ ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි  පිලේ හිටපු නායක සුදර්ශන මුතුතන්තී‍්‍ර, ආබාධ හේතුවෙන් හොං කොං සෙවන්ස් තරගාවලියට එක් නොවූ ජේසන් දිසානායක සහ කෙවින් ඩික්සන් මෙසේ අවසන් අදියරේ තරගාවලියට එක්වී සිටින කී‍්‍රඩකයෝ වෙති.

මේ තිදෙනා කණ්ඩායමට එක්වී සිටින්නේ ආබාධයක් මත කණ්ඩායමෙන් ඉවත්වී සිටින සාලිය හඳපාන්ගොඩ සහ පෞද්ගලික හේතු මත අවසන් අදියරේ තරගාවලියට කී‍්‍රඩා නොකරන සසාන් මොහොමඞ් සහ හිරන්ත පෙරේරා වෙනුවටය.

සුදර්ශන මුතුතන්තී‍්‍ර නැවත කණ්ඩායමට එක්වූවත් නැවත වරක් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවීමේ පැවැරී ඇත්තේ ධනුෂ්ක රන්ජන්ටය.

ශී‍්‍ර ලංකා රග්බි ඉතිහාසයේ පළමුවරට මෙවර තරගාවලියේ පළමු අදියරේ දී ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයට  දක්වා ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ධනුෂ්ක රන්ජන් විසිනි. හෙතෙම දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරේ තරගාවලියේ දී ද කුසලාන වටයේ අවසන් මහා තරගය දක්වා ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙහෙයවිය.

සුදර්ශන මුතුතන්තී‍්‍ර යළි කණ්ඩායමට එක්වීම ඉදිරිපෙළ ශක්තිමත් කිරිමට විශාල රුකුලක් වනු ඇතැයි ධනුෂ්ක රන්ජන් පවසයි.
මේ වනවිට සමස්ත තරගාවලියේ ප‍්‍රසාද ලකුණු 20 ක් ලබා දෙවැනි තැන පසුවන ශී‍්‍ර ලංකා පිල මෙවර තරගාවලියේ කුසලාන වටයේ ජයග‍්‍රාහකයන් බවට පත්වෙමින් සමස්ත ශූරතාව දිනා ගැනිමේ අරමුණින් පසුවෙයි. ඒ සඳහා කුසලාන වටයේ ජයග‍්‍රහණය පමණක් ප‍්‍රමාණවත් නොවන අතර ඊට සමගාමීව දැනට ප‍්‍රසාද ලකුණු 24 ක් ලබා සමස්ත කිරුළට සමීපවී සිටින හොංකොං පිල මෙවර තරගාවලියේදී සිවුවැනි තැනට හෝ ඊට පහළට ඇද වැටිය යුතුමය.

තුරග තරග පිටියේ දී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියරේ තරගාවලියට ශී‍්‍ර ලංකාව එක්වන්නේ ‘බී‘ කාණ්ඩයෙනි. චීනය, චීන තායිපේ සහ සිංගප්පූරුවත් ‘බී’ කාණ්ඩයට ඇතුළත් වෙති. හොං කොං, ජපානය, මැලේසියාව සහ දකුණු කොරියාව ‘ඒ‘ කාණ්ඩයට එක්වී සිටිති.

ලබන 15 වැනිදා ඇරැඹෙන මේ තරගාවලියේ පළමු දිනයේ පස්වරු 1.12 ට චීන තායිපේ පිල සමග තරග වැදීමට නියමිත ශී‍්‍ර ලංකාව අනතුරුව එදින පස්වරු 4.08 ට සිංගප්පූරුව සමග දෙවැනි තරගයට එක්වෙයි. මූලික වටයේ අවසන් තරගයට චීනය සමග ශී‍්‍ර ලංකාව තරග වදින්නේ පස්වරු 7.04 ටය.

ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම
ධනුෂ්ක රන්ජන් (නායක), රිචඞ් ධර්මපාල, ශී‍්‍රනාත් සූරියබණ්ඩාර, කාංචන රාමනායක, දනූෂ දයාන්. ජේසන් දිසානායක, සුදර්ශන මුතුතන්තී‍්‍ර, දුලාජ් පෙරේරා, කෙවින් ඩික්සන්.  ඕමල්ක ගුණරත්න, තරිඳු රත්වත්ත, කවිඳු පෙරේරා.

පුහුණුකරු - මැට් ටර්නර් මහතා (නවසීලන්තය)

ශාරිරික අභ්‍යාස පුහුණුකරු - නික් ගෲබ් මහතා (නවසීලන්තය)

කළමනාකරු - රොහාන් චින්තක මහතා

 

- 066

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.