Last Update  :  2026-03-18 19:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශිරන්ත - ජස්වර් සටනට

ශිරන්ත - ජස්වර් සටනට

editorial - 2026 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය (2026 - 30) ලබන අප්‍රේල් 25 වැනිදා පස්වරු 4 ට එහි ශ්‍රවණාගාරයේදී  පැවැත්වීමට නියමිතය.සෙනසුරාදා (14) පැවැති එහි විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය කළ පරිදි නාමයෝජනා කැදවීම ලබන අප්‍රේල් 11 වැනිදා දක්වා සිදු කෙරේ.

නිලවරණ මෙහෙයුම් කමිටුව නිර්දේශ කර ගැනීමත් එහිදී සිදු කෙරෙනු අතර ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා කටයුතු කරයි.ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර හා නීතිඥ පියසේන රණසිංහ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් නිල කාලය (2021 - 25) පසුගිය දෙසැම්බර් 27 වැනිදා අවසන් විය.කෙසේවූවත් ඊළගට යෙදෙන නිලවරණය පවත්වා අවසන් කෙරෙන තුරු ලබන අප්‍රේල් 30 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සහන කාලයක් ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව එකග විය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එහි උප සභාපතිවරයෙකු වන ශිරන්ත පීරිස් මහතා පැවැසුවේ අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන නිලවරණයේදී තමා සභාපති ධූරයට නාමයෝජනා බාරදීමට තීරණය කර තිබෙන බවයි.

ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ සම්මේලනයේ වත්මන් සභාපතිවරයාද වන ඔහු ජාතික ඔලිම්පික් කමිටුවේ සැපයුම් උප කමිටුවේ ප්‍රධානියාද වන අතර මේ වන විට ඔහු නෙළුම් කුළුන මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ඔහු මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසුවේ ඔලිම්පික් කමිටුවේ නිලවරණයට ඉදිරිපත් වීමේදී තමා ප්‍රධාන කොන්දේසි දෙකක් වත්මන් සභාපතිවරයා වෙත යොමු කර සිටි බවයි.ඒ සිය පාර්ශවයෙන් මහ ලේකම් ධුරයේ අපේෂකත්වය එය දැනටත් දරමින් සිටින රිෆ්ඩි ෆාමි මහතාට ලබාදීමත් වත්මන් උප සභාපතිනියක් වන නිලූ ජයතිලක මහත්මිය යළිත් විධායක සභාවට පත් කර ගැනීමත් සිදු කළ යුතු බවයි.

මේ අතර වාර්තා වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතාටද ජාතික ඔලිම්පික් කමිටුවේ එළඹෙන නිලවරණයේදී සභාපති ධුරයට ඉදිරිපත් වන ලෙස ජාතික ක්‍රීඩා සංගම් වෙතින් ආරාධනා ලැබෙමින් පවතින බව වාර්තාවේ.

ඒ පිළිබදව ලංකාදීප ය කළ විමසුමකදී ඔහු පැවැසුවේ ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකින් තමාට ඒ සදහා ආරාධනා ලැබී තිබෙන බවයි.ඒ සම්බන්ධයෙන් සුදුසු පරිදි තීරණයක් තමන් ඉදිරියේදී ගනු ලබන බවත් ඔහු එහිදී පැවැසීය.

මේ අතර අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිත ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයට සමගාමිව පැවැත්වෙන මහ සභා රැස්වීමට එහි නව සාමාජික ජාතික ක්‍රීඩා සංගමයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇරියුම් ලබා තිබේ.

කෙසේවූවත් ක්‍රිකට් ආයතනයට මෙම  නිලවරණයේදී ඡන්ද බලය හිමි නොවන අතර ඒ ඔවුන් වසරක නිරීක්ෂණ කාලයක් ගෙවා අවසන් කළ යුතු බැවිනි.මීළගට නියමිත වසර 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සදහා ක්‍රිකට් ක්‍රීඩාව  (විස්සයි - 20) නිර්දේශ කර තිබෙන බැවින් මෙලෙස මෙරට ක්‍රිකට් ආයතනයට ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ප්‍රදානය කර තිබේ.


අදහස් (0)

ශිරන්ත - ජස්වර් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.