
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික බොක්සිං සංගමයේ සංවිධානත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 2025 පිරිමි බොක්සිං ලෝක ශූරතාවලියේ 16 දෙනාගේ වටයේ තරගවලදී රවිඳු කුමාර සහ උදාර රූපස්සර පරාජයට පත් වීමත් සමග ශ්‍රී ලංකාව පදක්කමක් දිනාගැනීම සඳහා තබා තිබූ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටිණ.
තරගාවලියේ හයවැනි දිනයේදී කිලෝ ග්‍රෑම් 54 බර පංතියේ 16 දෙනාගේ වටයේ තරගයකදී සැමීබියාවේ ම්වෙන්ගෝ ම්වාලේට හමුවේ රවිඳු කුමාර පරාජයට පත් විය. උදාර රූපස්සර පරාජයට පත් වූයේ කිලෝ ග්‍රෑම් 71 බර පංතියේ අවසන් 16 දෙනාගේ වටයේ තරගයකදී ස්පාඥ්ඥයේ ෆ්‍රෑන්ක් මාර්ටිනස්ට හමුවේය.
ඔවුන්ට පෙර කිලෝ ග්‍රෑම් 48 බර පංතියේ 16 දෙනාගේ වටයේ තරගයකදී ජෝජියාවේ සාඛිල් අලක්වෙඩෝවි හමුවේ පරාජය වීම හේතුවෙන් ඩැනිල් තිසරාරච්චිටද, කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ 16 දෙනාගේ වටයේ තරගයකදී මාලි රාජ්‍යයේ ටේරඕර් ජිබ්රිල් හමුවේ පරාජය වීම හේතුවෙන් මොහොමඩ් උසෙයිත්ටද තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූහ.
රටවල් 150 ක ක්‍රීඩකයන් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගීවන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 8 දෙනෙක් සහභාගි වූහ. එම ක්‍රීඩකයන්ගෙන් සිවු දෙනෙක් ඔවුන් නියෝජනය කළ බර පංතිවල මූලික වටවලදීද, සිවුදෙනෙක් ඔවුන් නියෝජනය කළ බර පංතිවල 16 දෙනාගේ වටයේදීද පරාජයට පත් වූහ.
ගයාන් රත්නසිරි (කි.ග්‍රෑ. 80 බර පංතිය), පත්මසිරි ගමගේ (කි.ග්‍රෑ. 67 බර පංතිය), පසිඳු මිහිරාන් (කි.ග්‍රෑ. 51 බර පංතිය) සහ රුක්මාල් ප්‍රසන්න (කි.ග්‍රෑ. 57 බර පංතිය) මෙම තරගාවලියේදී මූලික වටයෙන්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.