Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට සැනසුම් සහගත ජයක්

ශ්‍රී ලංකාවට සැනසුම් සහගත ජයක්

editorial - 2021 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද අබුඩාබි ක්‍රීඩාංගණයේ සිට..)

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තුන් ඉරියව් දස්කම් හමුවේ මෙම තරගයේදී  පරාජයට පත්වූ වත්මන් ලෝක ශූර කොදෙව්වන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොළබාම මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය කොදෙව්වන්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂ පන්දු යැවීම සහ පන්දු රැකීම හමු‍වේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 169 ක් පමණි. කෙදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශිම්රන් හැට්මෙයර් පන්දු 54 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 81 ක් රැස්කිරීමට සමත් වුවද, ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

මෙම තරගයේදී දවාගත් කඩුලු 2 ත් සමග මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 8 කදී තමා දවාගත් කඩුලු සංඛ්‍යාව 16 ක් දක්වා ඉහළ දමාගැනීමටද වනිඳු සමත් විය. එය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පන්දු යවන්නකු දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් විය. මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2012 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තරග 6 කදී කඩුලු 15 ක් බිඳහෙළා සිටි අජන්ත මෙන්ඩිස්ය.

පසුගිය තරගවලදී දිගින් දිගටම පහර කෑමට ලක්වූ ළහිරු කුමාර වෙනුවට මෙම තරගයට කැඳවූ බිනුර ප්‍රනාන්දු, දෙවැනි ඕවරයේ‍දී ක්‍රිස් ගේල් (1) සහ එවින් ලුවිස් (8) පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. චාමික කරුණාත්නගේ පන්දුවක් හමුවේ ෂොට් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි භානුක රාජපක්ෂ රැකගත් දක්ෂ උඩ පන්දුවක් හේතුවෙන් රොස්ටන් චේස් (9) දැවී යෑමත් සමග කොදෙව් ලකුණු පුවරුව ලකුණු 47 කට කඩුලු 3 ක් බවට පත්විය.

පිළිවෙලින් ලකුණු 5 ක් සහ 10 ක් ලබා සිටියදී ලබාදුන් උඩ පන්දු දෙකක් මහීෂ් තීක්ෂණ අතින් ගිළිහී යෑම නිසා  නිකලස් පූරන්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදා විය. තෙවැනි ඕවරයේදී තමාගේම පන්දුවක් හමුවේ තමා අතට පැමිණි උඩ පන්දුවක් රැකගැනීමට අපොහෙසත් වූ තීක්ෂණ, සිවුවැනි ඕවරයේදී ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටියදී බිම දැමුවේ බිනුර ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ පූරන් ලබාදුන් උඩ පන්දුවකි.

එම උඩ පන්දු දෙක අතහැරීමේ විපාකය ශ්‍රී ලංකා පන්දු රකින්නන්ට මැනවින් කියාදුන් පූරන්, පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 46 ක් රැස්කළේය. දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් සිටි පූරන්ට අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි අති‍‍රේක ක්‍රීඩක ධනංජය ද සිල්වා ඉදිරියට දිව එමින් රැකගත් අගනා උඩ පන්දුවක් හමුවේය.

කාසියේ වාසිය දිනූ කෙ‍ාදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පැතුම් නිස්සංකගේ සහ චරිත් අසලංකගේ දක්ෂ පිතිහරඹය හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 189 ක් ලබාගත්තේය. වික්‍රමාන්විත පිතිහරඹයක නිතර වූ පැතුම් නිස්සංක (51) සහ චරිත් අසලංක (68) දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව කෙමෙන් කෙමෙන් ඉහළ දැමූහ.

පන්දු 41 කට මුහුණදුන් අසලංක හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 41 කදී වාර්තා වූ නිස්සංකගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය. විශාල පහර කරා නොගොස් කෙටි ලකුණු රැස්කරමින් ඔවුන් දෙදෙනා නිරතවූ එම උපායශීලී පිතිහරඹය හමුවේ පන්දු 71 කින් ලකුණු 100 සිමාවට ලඟා වූ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දු 102 කදී ලකුණු 150 සීමාවද පසුකර ගියේය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 100 සීමාව මෙන්ම 150 සීමාවද පසුකර යෑම සඳහා වැය කළ අඩුම පන්දු සංඛ්‍යාව එය විය.

ලෝක කුසලාන තරග 6 ක්ද සමගින් තවමත් විස්සයි-20 තරග 9 කට පමණක් ක්‍රීඩා කර ඇති අසලංක එහිදී ලබාගත් දෙවැනි අර්ධ ශතකය මෙය විය. ලද සෑම අවස්ථාවකින්ම පාහේ නිසි ඵල නෙලාගත් ඔහු, මේ වන විට තරග 6 කදී ලකුණු 231 ක් රැස්කරමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන්‍ගේ ලැස්තුවේ පෙරමුණ ගැනීමටද සමත්ව සිටියි. එහිදී ඔහු‍ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 46.20 ක් ලෙස වේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර විස්සයි-20 තරග 4 ක‍ට පමණක් ක්‍රීඩා කර සිටි නිස්සංක, ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කළ තරග 8 ද සමග මේ වන විට විස්සයි-20 තරග 12 කට සහභාගි වී ඇත. මේ දක්වා ඔහු ලබාගෙන ඇති අර්ධ ශතක 3 ම ලෝක කුසලාන තරගවලදී ලබාගත් අර්ධ ශතක වන අතර තරග 8 කදී ලකුණු 221 ක් ලබා සිටින ඔහු මෙම තරගාවලි‍යේ වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

කුසල් පෙරේරා‍ගේ කඩුල්ල අහිමි වුවද, මුල් ඕවර 10 අවසානයේ ලකුණු 82 ක් ලබාගැනීම‍ට ශ්‍රී ලංකා පිතිකරු‍වෝ සමත් වූහ. තමාගේම පන්දුවක් හමුවේ ඔන්ඩ්‍රි රසල් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන් පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 29 ක් ලබා සිටි කුසල්ට ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට සැනසුම් සහගත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.