
නාමල් පතිරගේ
ඩුබායි නුවරදී නිමාවට පත්වූ ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේය.එයින් රන් පදක්කම් දෙකක් දිනා ගත්තේ එෆ් 40 - වයස 17 න් පහළ (කාන්තා) කාන්ඩයෙන් තරග වැදුණු ක්‍රීඩිකා දිල්මිණී උදුම්බරා කුමාරගේ විසිනි.
ඒ යගුලිය විසි කිරීම (මීටර 3.69) හා කව පෙත්ත විසි කිරීම (මීටර12.44) යන ඉසව් දෙකෙන් ය. ශ්‍රී ලංකාවට හිමිවූ සෙසු රන් පදක්කම දිනා දුන්නේ වයස 17 න් පහළ ටී 47 - (පිරිමි) කාන්ඩයෙන් තරග වැදුණු මීටර 100 ක්‍රීඩක සෙනුවර සදිළුය.ඔහුගේ දක්ෂතාවය වූයේ තත්පර 12.29 කි.
ඔහු විසින් එම කාන්ඩයේ දුර පැනීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමටත් සමත්වූ අතර ඒ මීටර 4.96 ක දක්ෂතාවයක් පළ කරමිනි.ශ්‍රී ලංකාවට හිමි සෙසු ලෝකඩ පදක්කම මොහොමඩ් ඉසාම් යූනුස් විසින් හිමි කර ගත්තේ මීටර 400 වයස 20 න් පහළ - ටී 47 - (පිරිමි) කාන්ඩයෙනි.ඒ තත්පර 61.95 ක දක්ෂතාවයක් පළ කිරීමෙනි.
මෙම තරග සංචාරය සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූහ.
රටවල් 35 කගේ සහභාගිත්වයෙන් ඊයේ (14) නිමාවට පත්වූ තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත ජයග්‍රාහණය රන් පදක්කම් 99 ක් හිමි කර ගත් උස්බෙකිස්තානයට අත් විය. ඒ අවසන් වරට බහරේනයේදී පැවැති 2021 ක්‍රීඩා උළෙල ජය ගත් ඉරානය පදක්කම් සටහනේ මෙවර දෙවැනි තැනට පත් කරමිනි.ඉරානය මෙවර දිනා ගත් රන් පදක්කම් ගණන 76 කි.
ඉන්දියාව රන් පදක්කම් 19 ක් ඇතුළුව මෙම ක්‍රීඩා උළෙලේදී දිනා ගත් මුළු පදක්කම් ගණන 56 කි. මෙම තරග සංචාරය සදහා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රධාන අනුග්‍රාහය දැරූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගුවන් ප්‍රවේශ පත්‍ර සදහා පෞද්ගලිකව වියදම් දැරූ බව ජාතික පැරලිම්පික් කමිටුවේ උප සභාපති ප්‍රියන්ත පීරිස් මහතා පැවැසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.