Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට මෙවරත් පෙරළියක් කළ හැකියි

ශ්‍රී ලංකාවට මෙවරත් පෙරළියක් කළ හැකියි

editorial - 2021 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


    

(ශානුක අරවින්ද අබුඩාබි සිට..)

වසර 1996  ලෝක ශූර කණ්ඩායම සහ මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත්ම සන්සන්දනය ‍කළ නොහැකි නමුත්, 96 කණ්ඩායමද මෙම කණ්ඩායම මෙන්ම තරගාවලිය ආරම්භ වන විට ශ්‍රේණිගත කිරීම්වල පහළින්ම සිටි කණ්ඩායමක් බව ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කියයි. ඒ නිසා මෙවර තරගාවලියේදීද ශ්‍රී ලංකාවට පෙරළියක් කිරීමට හැකියාව ඇතැයි තමා විශ්වාස කරන බව මුත්තයියා මුරලිදරන් මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේෂන කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුරලිදරන් මහතා, ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරගය පැවැති කාලයේදී මාධ්‍යවේදීන් සමග පැවැති සාකච්ඡාවකදී ඒ බව පැවසීය. එහිදී ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මුරලිදරන් මහතා මෙසේද කියා සි‍ටියේය.

“96 ලෝක කුසලාන තරගාවලියේදීත් කවුරුවත් හිතුවෙ නෑ ශ්‍රී ලංකාව දිනයි කියලා. ඒ වගේ දෙයක් මේ තරගාවලියෙදිත් වෙන්න පුළුවන්.“

“මම 96 කණ්ඩායමේ හිටපු කෙනෙක් විධියට දන්නවා, අපි හිතුවෙ අපි පළමු වටයෙන්ම පරදීවි කියලා. ඒත් අවසන් මහ තරගයට යනකන්ම එක තරගයක්වත් අපි පරාජය වුණේ නෑ. මම කියන්නෙ නෑ ඒ වගේ දක්ෂ කණ්ඩායමක් දැන් අපිට ඉන්නවා කියලා. ඒ වුණාට ඒ ව‍ගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්.” යැයි මුරලිදරන් මහතා පැවසීය.

ක්‍රීඩකයන් තේරීම, පුහුණු කිරීම සහ උපදෙස් දීම සඳහා තේරීම් කමිටුවක්, පුහුණුකරුවන් සහ උපදේශකයන් සිටියත් ඔවුන්ට තරග දිනවිය නොහැකි බවද, තරග දිනවීමේ හැකියාව ඇත්තේ ක්‍රීඩකයන්ට පමණක් බවද මුරලිදරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. තරගයක් තුළදී ක්‍රීඩකයන් ඔවුන්ගේ උපරිමය ලබාදෙන්නේ නම් එම තරගය ජයගැනීමට අපහසු නොවන බව මුරලිදරන් මහතා‍ගේ අදහස විය.

“අපි මේ දේ කොහොම හරි කරන්න ඕන කියලා අදිෂ්ඨානයක් තියාගෙන, එයාලගෙ මුලු බලයම යොදවන්න ක්‍රීඩකයන්ට පුළුවන් නම් අපිට කණ්ඩායමක් වශයෙන් පහසුවෙන්ම තරග ජයග්‍රහණය කරන්න පුළුවන්. හොඳ දක්ෂතාවන් තියෙන පිරිසක් තමයි මෙතන ඉන්නෙ. ඔවුන්ට හැකියාව තියෙනවා තරග ජයග්‍රහණය කරවන්න. නමුත් ඔවුන් ඒ හැකියාවන් අවශ්‍ය තැනදි පෙන්වන්න ඕන. එහෙම නැතුව දිනන්න බැහැ.” යැයිද මුරලිදරන් මහතා පැවසීය.

 කෙසේ වුවත් ශ්‍රී ලංකාව ‍මෙවර ලෝක කුසලානය ජයගනු ඇතැයි අනාවැකි පළ කිරීමට තමාට නොහැකි බවත්, ක්‍රීඩකයන් සියලු දෙනා තම තමන්ගේ දක්ෂතා කැටි කොට එය කණ්ඩායමක් වශයෙන් තරග ජයග්‍රහණය කරවීම සඳහා යොදවන්නේ නම් ලෝක කුසලානය ජයගැනීම කළ නොහැක්කක් නොවන බවද මුරලිදරන් මහතා අවසාන වශයෙන් කියා සිටියේය.

 “විස්සයි-20 ක්‍රිකට් කියන්නෙ වෙනස්ම ආකෘතියක්. ඉතාමත් කෙටි කාලයයි තරගයක් තියෙන්නෙ. ඒකෙදි ඕනම කණ්ඩායමකට තරගයක් දිනන්න පුළුවන්. ඒ නිසා කියන්න බෑ කොයි කණ්ඩායම දිනයිද කියලා. ඒත් කණ්ඩායමක් විධියට එකා වගේ ක්‍රීඩා කරනවා නම් අපිට 96 දි ව‍ගේ මේ තරගාවලියෙදිත් පෙරළියක් කරන්න බැරි කමක් නෑ කියලා මම හිතනවා.” යැයි ඔහු අවධාරණය කළේය.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට මෙවරත් පෙරළියක් කළ හැකියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.