Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට කඩුලු 2 ක තියුණු ජයක්
දෙවැනි එක්දින තරගය

ශ්‍රී ලංකාවට කඩුලු 2 ක තියුණු ජයක්

editorial - 2024 ජන මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

තම දෙවැනි එක්දින අන්තර්ජාතික තරගයේදීම අගනා පිතිහරඹයක නිරත වූ ජනිත් ලියනගේ (95) පසුපෙළ පිතිකරුවන්ට කදිම වේදිකාවක් තනා දුන්නේය. එම වේදිකාවේ සිටිමින්, ධෛර්යවත් ගමනක යෙදුණු ජෙෆ්රි වැන්ඩසේ (නොදැවී 19) සහ දුෂ්මන්ත චමීර (නොදැවී 18) දෙදෙනා, දෙපැත්තටම වැනෙමින් තිබූ තරගයේ වාසිය අන්තිම මොහොතේදී ශ්‍රී ලංකාව දෙසට ඇදගත්හ. 

ඉදිරි පෙළ පිතිකරුවන් අසාර්ථක වෙද්දීත්, පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්ය සම්පන්න බව නිසාම, සිම්බාබ්වේ පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (08 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක තියුණු ජයක් අත්කර ගත්තේය. 

මෙම ජයත් සමගින්, ශ්‍රී ලංකා කණ්ඩායම, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 

ලකුණු 209 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 112 ක් ඇතුළත කඩුලු 6 ක් අහිමි විය. එහෙත් ජනිත් ලියනගේ සහ මහීෂ් තීක්‍ෂණ එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු සංඛ්‍යාව 168 දක්වා තල්ලු කළේ සටන අවසන් නැතිබව කියමිනි. දිගින් දිගටම පැවැති පොදවැස්ස නිසා ශ්‍රී ලංකා පිල ඩක්වර්ත් - ලුවිස් ඉලක්කයට වඩා පසුපසින් සිටි නමුත් පසුබට නොවූ පසුපෙළ පිතිකරුවෝ ධෛර්යවන්ත ගමනක නිරත වූහ. 

හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ද සමගින්, පන්දු 127 කින් ලකුණු 95 ක් ලබාගත් ජනිත් ලියනගේ ලකුණු 172 දී දැවී යාම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු බොඳ කරවන්නක් විය. එසේ වුවත්, 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 39 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩසේ දෙදෙනා 49 වැනි ඕවරයේදී ලකුණු 13 ක් උදුරා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මායිමෙන් එතෙර කළහ. 

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව ලකුණු රැස්කිරීම තෝරා ගත්තද  අපේක්‍ෂිත ප්‍රහාරය දියත් කිරීමට ඔහුගේ පිතිකරුවන්ට අවසර නොලැබිණ. පළමු තරගයේදී මෙන්ම අදත් ඩිල්ෂාන් මධුශංක සහ දුෂ්මන්ත චමීර දෙදෙනා කදිම ආරම්භයක් ලබා ගත්හ. 

පළමු ඕවරයේදීම ටිනාෂේ කමුන්කම්වේ පිටියෙන් ඉවත් කළ මධුශංක විසින් සිම්බාබ්වේ ආරම්භ පිතිකරුවා තරග දෙකේදීම මුහුණ දුන් පළමු පන්දුවේදීම දවාගන්නා ලදි. එහෙත් චමීරගේ දෙවැනි ඕවරයේදී ලකුණු 07 ක් ලබාගත් සිම්බාබ්වේ පිතිකරුවෝ, යම් තරමකට හිස් ඔසවා ගත්හ. ආරම්භය අසාර්ථක වූ නමුත් පසු නොබා තරගයට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම, ඕවර 25 ක් නිමාවේදී ලකුණු 115 ක් ලබා සිටියේය. මෙම කාලය ඇතුළත ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් හත් දෙනකු උපයෝගී කරගත් නමුත් ඔහුට දවාගත හැකිවූයේ පිතිකරුවන් තිදෙනකු පමණි. 

සහන් ආරච්චිගේ යැවූ තුන්වැනි පන්දුවේදීම අර්වින් දවාගත හැකි පහසු ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් ලැබුණ නමුත් කුසල් මෙන්ඩිස් වෙතින් එය ගිළිහී ගියේ පන්දුව අපේක්‍ෂා කළාට වඩා ඉපිළුණු බැවිනි. ස්ටම්ප් කිරීමේ අවස්ථාව දෙන විට නොදැවී ලකුණු 29 ක් ලබා සිටි සිම්බාබ්වේ නායකයා 25 වැනි ඕවරය නිමාවන විට නොදැවී ලකුණු 49 ක් ලබා සිටියේය.

26 වැනි ඕවරයේදී කිසිම හික්මීමක් නැති පහරක් ගැසූ සිකන්දර් රාසාත් (01) දැවී ගියද නායක ක්‍රෙග් අර්වින් සහ රයාන් බර්ල් (31) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක් එක්කළහ. පන්දු වාර දෙකකදී, ඕවර 5 ක් යවා තිබූ දුෂ්මන්ත චමීරට කඩුල්ලක් දවාගැනීමේ වාසනාව නොතිබිණ. එහෙත් ඔහුගේ තුන්වැනි පන්දු වාරයේ පළමු ඕවරයේදීම, බැක්වර්ඞ් පොයින්ට් හි සිටි සධීර සමරවික්‍රම තනි අතින් රැකගත් උඩපන්දුවත් සමගින් සියල්ල වෙනස් විය. 

හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 82 ක් ලබාගත් ක්‍රෙග් අර්වින් ආපසු ක්‍රීඩාගාරයට යෑමෙන් පසුව තිබුණේ කඩුලු පෙරහැරකි. 

ලකුණු 26 ක් ඇතුළත අවසන් කඩුලු හයම බිම වැටීමෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 208 කට දැවී ගියේය. අගනා පන්දු යැවීමක නිරත වූ ඩිල්ෂාන් මධුශංක (24/1), දුෂ්මන්ත චමීර (44/2) සහ මහීෂ් තීක්‍ෂණ (31/4) සිම්බාබ්වේ පිලේ කඩුලු 10 න් හතක් බෙදා ගත්හ. 

ක්ලයිව් මඩාන්ඬේ තම කඩුල්ල රැකගැනීමේ අටියෙන් විතීවි ක්‍රමය යෝජනා කළ නමුත් අවසානයේදී තුන්වැනි විනිසුරුවරයාගේම තීන්දුවෙන් දැවී ගියේය. මඩාන්ඬේගේ අරමුණ වූයේ ස්ලිප් හි සිටිමින් චරිත් අසලංක රැකගත්තේ උඩපන්දුවක් නොවන බව තහවුරු කරගැනීමයි. එහෙත් තුන්වැනි විනිසුරු ඇලෙක්ස් වෝෆ් මහතාගේ තීන්දුව වූයේ චරිත් අසලංක රැකගත්තේ උඩපන්දුවක් නොවුණත් මඩාන්ඬේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී ගිය බවයි. 

තුන්වැනි සහ අවසන් එක්දින තරගය 11 වැනිදා (බ්‍රහස්පතින්දා) පැවැත්වේ. 

 

ජේලෝර්ඞ් ගම්බී...

 

මහීෂ් තීක්ෂණ...

 

කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම... 

 

රිචඩ් නගාරවා...

 

ජනිත් ලියනගේ සහ චරිත් අසලංක....

- 213 


අදහස් (0)

ශ්‍රී ලංකාවට කඩුලු 2 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.