Last Update  :  2025-05-09 11:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
තුන්වැනි එක්දින තරගය

ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

editorial - 2022 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(දමින්ද විජේසූරිය)

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ ක්‍රිකට් ලෝලීන්ට, වසර ගණනාවකට අමතක නොවන අත්දැකීමක් තිළිණ කළ පැතුම් නිස්සංක ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕස්ට්‍රේලියානුවන් හමුවේ අභීත හඹා යාමක නිරත වෙමින් තුන්වැනි එක්දින තරගයේදී කඩුලු 6 ක විශිෂ්ට ජයක් ලබාගත්හ. ලකුණු 292 ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දු 9 ක් ඉතිරිව තිබියදී ජයටැඹ පසුකර යමින් 2-1 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණද අත්පත් කරගත්තේය.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානුවන් හමුවේ සාර්ථකව හඹා ගිය විශාලතම ඉලක්කය මෙම ලකුණු 292 යි. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානුවන් හමුවේ සාර්ථකව හඹා ගිය විශාලතම ඉලක්කය වූයේ වසර 2012 දී, හොබාර්ට් නුවරදී කඩුලු 7 ක් දැවී ලකුණු 283 ක් ලබාගැනීමයි. ශ්‍රී ලංකාවේදී නම්, එය මීට වසර 30 කට පෙර, 1992 දී, කොළඹ ඕවල් පිටියේදී කඩුලු 6 කට ලකුණු 251 ක් ලබාගැනීමයි.

සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ පැතුම් නිස්සංක, ශ්‍රී ලංකා පිතිකරුවකු, එක්දින තරගයකදී ඕස්ට්‍රේලියානුවන් හමුවේ ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබාගත්තේය. හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 137 ක් ලබාගත් පැතුම් නිස්සංක, අභියෝගයකින් තොරවම තරගයේ වීරයා වූයේ තමන්ට ටෙස්ට්, එක්දින හෝ විස්සයි-20 යන කවර ආකාරයේ ක්‍රීඩාවක් වුවද පහසුවෙන් හසුරුවාගත හැකි බව කදිමට පෙන්වා දෙමිනි.

පැතුම් නිස්සංක සමගින් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 170 ක අති විශිෂ්ට, සම්බන්ධතාවකට පසුව, පාදයේ මස්පිඬු ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් (නොදැවී 87) ආපසු ක්‍රීඩාගාරයට ගියේය. එහෙත් ඒ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට පිවිස සිටි හෙයින්, ධනංජය ද සිල්වා (25), නිස්සංකට සහ චරිත් අසලංක, අපහසුවකින් තොරවම ශ්‍රී ලංකා කණ්ඩායම ජය ටැඹ කරා කැඳවාගෙන ගියහ.

48 වැනි ඕවරයේදී ජායි රිචඩ්සන් තරමක තර්ජනයක් වෙමින් කඩුලු දෙකක්ම දවාගත් නමුත් දැවැන්ත හයේ පහරකින් තරගය සමකළ චරිත් අසලංක, ඊළඟ පන්දුවේදී ජයග්‍රාහී ලකුණ ලබාගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව යන විට පන්දු 85 කට මුහුණ දෙමින්, ඒවායින් 8 ම හතරේ සීමාවෙන් එපිටට යවා තිබිණ. කණ්ඩායම වෙනුවෙන් නැංගුරමේ ඉනිම ක්‍රීඩා කළ පැතුම් නිස්සංක හීන් සීරුවේ සිය ශතකය කරා යද්දී, කුසල් මෙන්ඩිස්, ඕස්ට්‍රේලියානුවන් හමුවේ සුපුරුදු ලකුණු දඩයම පටන් ගත්තේය. පන්දු 55 කදී පැමිණි කුසල්ගේ අර්ධ ශතකය හතරේ පහර 5 කින් අලංකෘත විය.

ඕවර 40 ක් නිමාවේදීත් ඕස්ට්‍රේලියානුවන් ලබා සිටියේ ලකුණු 193 ක් පමණි. එහෙත් ග්ලෙන් මැක්ස්වෙල්ගේ ඉවක් බවක් නැති ප්‍රහාරය නිසා අවසන් ඕවර 10 න් ලකුණු 98 ක් උදුරාගත් ඕස්ට්‍රේලියානුවෝ නියමිත ඕවර 50 නිමාවන විට කඩුලු 6 ක් දැවී ලකුණු 291 ක් ලබාගත්හ. හතරේ පහර 3 ක් සහ දැවැන්ත හයේ පහරක්ද සමගින්, පන්දු 18 කින් ලකුණු 33 ක් ලබාගත් මැක්ස්වෙල් කළේ ලකුණු ලබාගන්නවාට වඩා ඕස්ට්‍රේලියානු ඉනිමට ජවය එන්නත් කිරීමයි.

ග්ලෙන් මැක්ස්වෙල්, පිතිකරු ලයිස්තුවේ අංක 7 ස්ථානයට තල්ලු කර ඇති ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඔහුගෙන් අපේක්‍ෂා කරන්නේ තරගයේ අවසන් ඕවර කිහිපයේදී පන්දු යවන්නන්ගේ ඔද තෙද බිඳ දැමීමයි. පළමු එක්දින තරගයේදී මෙන්ම අදත් එය කදිමට කළ මැක්ස්වෙල්, ඒ වන විටත් පිටියේ සිටි ට්‍රැවිස් හෙඩ්ට සහ පසුව පැමිණි කැමරන් ග්‍රීන්ටත් ප්‍රහාරයට අවශ්‍ය පදනම දමා දුන්නේය.

මැක්ස්වෙල් දැවී යාමෙන් පසුව යැවුණු පන්දු 33 දී ට්‍රැවිස් හෙඩ් සහ කැමරන් ග්‍රීන් දෙදෙනා ලබාගත් ලකුණු සංඛ්‍යාව 58 කි.

දුනිත් වෙල්ලාලගේ හමුවේ ගැසූ දැවැන්ත හයේ පහරකින් සිය අර්ධ ශතකය ලබාගත් ට්‍රැවිස් හෙඩ්, එම ඕවරයේදී වෙල්ලාලගේට හයේ පහර 3 කින් සංග්‍රහ කළේය. ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් සූරියවැවදී ක්‍රීඩා කරමින් සිට, තරගය අතරමැදදී ජාතික කණ්ඩායමට එක්වූ හෙඩ්ගේ පන්දු 65 ඉනිම හතරේ පහර 3 කින් සහ හයේ පහර 3 කින් සන්නද්ධ විය.
 
කම්මැලි පහරක් ගැසූ ඩේවිඩ් වෝනර් ලකුණු 09 කට දැවී යාමෙන් පසුව දඟ පන්දු යවන්නන් වන මහේෂ් තීක්‍ෂණ (5-0-16-0), ජෙෆ්රි වැන්ඩසේ (6-0-28-1) සහ සහ දුනිත් වෙල්ලාලගේ (6-0-16-1) ඉතාමත් හොඳින් ඕස්ට්‍රේලියානුවන් පාලනය කරගෙන සිටියහ. එම තත්ත්වය හමුවේ ඕවර 25 කදී ඕස්ට්‍රේලියානුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 117 කි. සිය ඕවර 9 ලකුණු 35 කට සීමාකරගත් දුනිත් වෙල්ලාලගේ 10 වැනි ඕවරයේදී ලකුණු 21 ක ප්‍රහාරයකට ලක්විය.

 

ඡායාරූප - ගයාන් අමරසේකර


අදහස් (1)

ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
  • leel gunawardena Monday, 20 June 2022 12:10 AM

    කොල්ලෝ ටික දැන් ධෛර්යමත් වෙලා.. ඔබට ජය...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.