
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ දෙවැනි කොටස යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සෙනසුරාදා (28 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය සමත් විය.
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා පාකිස්ථානය ලකුණු 65 කට වැඩි පරතරයකින් ශ්‍රී ලංකාව පරාජය කළ යුතුව තිබූ බැවින් මෙම තරගය ජය ලැබුවද, ඔවුන්ට ඒ සඳහා අවස්ථාව උදාකර ගැනීමට නොහැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඕවර 20 අවසනයේ කඩුලු 6 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 207 ක් පමණි. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ නායක දසුන් ශානක පන්දු 31 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 76 ක් රැස්කිරීමට සමත් වුවද, ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ශහීන් අෆ්රිඩි යැවූ අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 28 ක් අවශ්‍යව තිබියදී, එහි මුල් පන්දු 4 ට හතරේ පහරක් සහ හයේ පහර 3 ක් එල්ල කරමින් ලකුණු 22 ක් රැස්කිරීමටද දසුන් සමත් විය.
ඒ අනුව අවසන් පන්දු දෙකේදී ශ්‍රී ලංකාවට ලකුණු 6 ක ඉලක්කයක් හිමි වූ නමුත් එම පන්දු දෙකේදීම දසුන්ට ලකුණු රැස්කිරීමට නොහැකි විය. පස්වැනි පන්දුවට කඩුලු රකින්නාගේ හිසට ඉහළින් ස්කූප් පහරක් ගැසීමට උත්සාහගත් දසුන්, හයවැනි පන්දුව වයිඩ් පන්දුවක් ලෙස සලකා නිදැල්ලේ හැරියේය. විඩියෝ පුණුරූපන වලට අනුව එය නිසැකවම වයිඩ් පන්දුවක් බව පෙනුනද, විනිසුරුවරයා එය නීත්‍යානූකූල පන්දුවක් යැයි සංඥ්ඥා කිරීමත් සමග ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට ලකුණු 5 ක් පසුපසින් සිටිමින් තරගය නිමා කිරීමට සිදුවිය.
ශ්‍රී ලංකා ඉනිමේ 12 වැනි ඕවරය නිමාවනවාත් සමගම ලකුණු 101 කට 5 වැනි කඩුල්ලත් බිඳවැටීමෙන් ලකුණු 213 ක ඉලක්කය ශ්‍රී ලංකාවට සපුරාගත නොහැකි වනු ඇතැයි බොහෝ විචාරකයෝ මත පළ කළහ. එහෙත් එම මතයන් වැරදි බව සනාථ කළ දසුන්, 6 වැනි කඩුල්ල සඳහා පවන් රත්නායක (58) සමග එක්ව පන්දු 33 කදී ලකුණු 61 ක්ද, 7 වැනි කඩුල්ල සඳහා දුනිත් වෙල්ලාලගේ (නොදැවී 2) සමග එක්ව පන්දු 15 කදී ලකුණු 45 ක්ද එක්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම ගෙන ආවේය.
එහිදී පන්දු 37 කින් දෙවැනි සිය විස්සයි-20 ජාත්‍යන්තර අර්ධ ශතකය ලබාගත් පවන්, හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් එය සැරසුවේය. මේ දක්වා ක්‍රීඩා කර ඇති විස්සයි-20 ඉනිම් 10 තුළ ඔහු ලකුණු 40 සීමාව පසුකර ගිය සිවුවැනි අවස්ථාවද මෙය විය. ආරම්භක පිතිකරු කමිල් මිෂාර පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක්ද, චරිත් අසලංක පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 25 ක්ද ලබා සිටියදි අබ්‍රාර් අහමඩ්ගේ පන්දු හමුවේ දැවී ගියහ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 212 ක් ලබාගත්තේය. එහිදි සිය දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ශතකය ලබාගැනීමට කිරීමට ආරම්භක පිතිකරු සහීබ්සාදා ෆර්හාන් (100) සමත් වූ අතර පන්දු 60 කදී වාර්තා වූ එම ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. මෙම ශතකයත් සමග මෙවර තරගාවලියේදී තම රැස්කළ මුලු ලකුණු සංඛ්‍යාව 383 ක් දක්වා ඉහළ දමාගැනීමටද ෆර්හාන් සමත් විය.
ෆකාර් සමාන් (84) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 176 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද ෆර්හාන් සමත් වූ අතර එය ලෝක කුසලාන තරගයකදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනකු එක්ව ගොඩනැගූ ඉහළම සම්බන්ධතාව ලෙසද වාර්තා අතරට එක්විය. පන්දු 43 කදී වාර්තා වූ ෆකාර්ගේ අර්ධ ශතකයට හතයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.
පාකිස්ථාන පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමා කරමින් ෆකාර් දැවී යෑමෙන් අනතුරුව පන්දු 21 ක් තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 36 ක් පමණක් ලබා දෙමින් තවත් කඩුලු 7 ක් බිඳහෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ෆකාර්ගේ කඩුල්ලද සමග ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගැනිමට ඩිල්ෂාන් මධුෂංක සමත් වූ අතර මොහොමඩ් නවාස් සහ නායක සල්මාන් ආගා ලකුණු ලබාගැනීමටත් පෙරාතුව ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දසුන් ශානක සමත් විය.
ලකුණු පුවරුව
පාකිස්ථානය
සහීබ්සාදා ෆර්හාන් - ඇ.ජනිත් ප.ඩිල්ෂාන් 100
ෆකර් සමාන් - ප.චමීර 84
කවාජා නෆායි - ඇ.චරිත් ප.ඩිල්ෂාන් 2
ශාදාබ් ඛාන් - දුවද්දී දැවී ගියා (ඩිල්ෂාන්) 7
මොහොමඩ් නවාස් - ඇ.තීක්ෂණ ප.දසුන් 0
සල්මන් ආගා - ඇ.තීක්ෂණ ප.දසුන් 0
උස්මාන් ඛාන් - නොදැවී 8
ශහීන් අෆ්රිඩි - ක.මු. කළා ප.ඩිල්ෂාන් 4
නසීම් ෂා - දුවද්දී දැවී ගියා (කමිඳු) 1
අබ්‍රාර් අහමඩ් - නොදැවී 0
අතිරේක 6
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 212
පන්දුවට පහර නොදුන් පිතිකරුවා:
උස්මාන් තාරීක්
කඩුලු වැටීම:
1-176(ෆකාර්), 2-179(179), 3-198(ශදාබ්), 4-199(නවාස්), 5-199(සල්මාන්), 6-203(ෆර්හාන්), 7-207 (අෆ්රිඩි), 8-210(නසීම්)
පන්දු යැවීම:
ඩිල්ෂාන් මධුෂංක 3-0-33-3
දුෂ්මන්ත චමීර 4-0-48-1
මහීෂ් තීක්ෂණ 4-0-35-0
දසුන් ශානක 4-0-42-2
දුනිත් වෙල්ලාලගේ 3-0-37-0
ජනිත් ලියනගේ 1-0-14-0
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.නවාස් ප.නසීම් 3
කමිල් මිෂාර - ප.අබ්‍රාර් 26
චරිත් අසලංක - ප.අබ්‍රාර් 25
පවන් රත්නායක - ඇ.සයුබ් ප.අෆ්රිඩි 58
කමිඳු මෙන්ඩිස් - ප.අබ්‍රාර් 3
ජනිත් ලියනගේ - ප.නවාස් 5
දසුන් ශානක - නොදැවී 76
දුනිත් වෙල්ලාලගේ - නොදැවී 2
අතිරේක 9
එකතුව ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 207
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:
මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර සහ ඩිල්ෂාන් මධුෂංක
කඩුලු වැටීම :
1-08(පැතුම්), 2-33(කමිල්), 3-75(චරිත්), 4-94(කමිඳු), 5-101(ජනිත්), 6-162(පවන්)
පන්දු යැවීම:
ශහීන් අෆ්රිඩි 4-0-48-1
නසීම් ෂා 4-0-36-1
අබ්‍රාර් අහමඩ් 4-0-23-3
උස්මාන් තාරික් 4-0-43-0
මොහොමඩ් නවාස් 2-0-21-1
ශදාබ් ඛාන් 2-0-33-0





ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.