Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව වසර 3 කට පසු ජයක් සොයයි

ශ්‍රී ලංකාව වසර 3 කට පසු ජයක් සොයයි

editorial - 2021 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 

 

(නාමල් පතිරගේ - මාලේ නුවර සිට)

දකුණු ආසියානු පාපන්දු කුසලානය හත් වතාවක්ම දිනා සිටින, වසර 21කින්  ශ්‍රී ලංකාවට පරාජය නොවූ ඉන්දියාව හෙට (7) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට මාලේ නුවරදී ශ්‍රී ලංකා පිල මුණගැසේ. මෙම කණ්ඩායම් දෙක, ජාත්‍යන්තර පාපන්දු තරගයකදී මුණ ගැසෙන්නේ වසර 2018 න් පසුවය. 2018 දී පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියානුවන් හමුවේ ගෝල 2-0කින් පරාජය වී තිබේ.

හෙට පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාවට තරගාවලියේ සමස්ත ප්‍රතිඵලයට කළ හැකි බලපෑම් ඉතා අල්පය. කෙසේ වුවත් මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වන්නේ නම් එයත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගන්නා ඉහළම ගෞරවයකි. හේතුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී ඉන්දියව හමුවේ කළ හොඳම දස්කම වසර 2003 දී ගෝල 1-1 ක් ලෙසට තරගය සම කිරීමයි. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් අවසන් වරට ඉන්දියාව පරාජය කර ඇත්තේ වසර 2000 දී ‘මාලේ’ රිදී ජුබිලි සංවත්සර පාපන්දු තරගාවලියේදීය. එය ගෝල 1-0කින් ඉන්දියාව පරදවා ලබාගත් ජයකි. 

ශ්‍රී ලංකාව ඉදිරියේ ඉන්දියානුවන්ගේ පාපන්දු අභිමානය බිඳී ගිය අවස්ථාව ලෙස අදටත් සැළකෙන්නේ 1995 තරගාවලියේදී ඉන්දියාව පරාජය කරමින් කුසලාන දිනා ගැනීමයි.
එහිදී ශ්‍රී ලංකාව මූලික වටයේදී ඉන්දියානුවන්ට  පරාජය වී තිබියදී මෙම උසස්ම දස්කම කිරීමට සමත්විය. 

1984න් පසුව ජාත්‍යන්තර පාපන්දු තරග වාර්තා පොත පිරික්සීමේදී ශ්‍රී ලංකාව තරග 16 කදී ජය ගෙන ඇත්තේ තුනක් (3) පමණි. හතරක් සමවී තිබේ. ඉතිරි තරග නවයකදීම ශ්‍රී ලංකාවට අත්ව තිබෙන්නේ පරාජයන්ය. 

මේ වනවිට ඉන්දියානුවන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 107 වැනි ස්ථානයේ සිටී. දකුණු ආසියානු රටවල් අතර, ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ඉන්දියානුවන්ය. එහෙත් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 205 වැනි ස්ථානයයි. ඒ හේතුවෙන් හෙට තරගය ජය පරාජයෙන් තොවර අවසන් කිරීමත් ශ්‍රී ලංකාවට අස්වැසිල්ලකටත් වඩා ගෞරවයක් ලැබෙන අවස්ථාවකි. 

මේවන විටත් ශ්‍රී ලංකාව වෙතින් අවසන් මහ තරගයේ අවස්ථාව ගිලිහී ගොස් තිබේ.  එහෙත් පසුගිය තරගාවලියේ අනුශූරයන් වන ඉන්දියාවට තවදුරටත් තරාගවලියේ බලාපොරොත්තු රඳවාගෙන ඉදිරියට යාමේ අවස්ථාව ලැබී තිබේ. 

මෙම 2021 වසරේ ඉන්දියාව ජාත්‍යන්තර තරග හතකට මේ දක්වා මුහුණ දී තිබේ. එහිදී ලෝක කුසලාන  සුදුසුකම් තරගයකදී බංග්ලාදේශය (2-0) හා නේපාලය (2-1) පරාජය  කිරීමට ඉන්දියානුවෝ සමත් වූහ. ඇෆ්ගනිස්ථානය (1-1) හා නේපාලය සමග තවත් තරගයක් (1-1) ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. 

ශ්‍රී ලංකාව වසර 2018 න් පසුව ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජය ගෙන නොමැති බැවින් හෙට තරගය ජය ගැනීමට සමත් වන්නේනම් එය ඔවුන්ට අත්වන මහත් කීර්තියකි. එය දෙගුණ තෙගුණ වන්නේ ඉන්දියාව යනු කලාපයේ පාපන්දු බලවතා වන බැවිනි. 

ඉන්දීය කණ්ඩායමේ නායකයා වන සුනිල් චෙට්ටි  දකුණු ආසියානු ගෝල 14 ක් ලබා සිටින, වසර 16ක් තිස්සේ ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකි. සුනිල් ජාත්‍යන්තර තරග 120කට මුහුණ දෙමින් ඉන් 75කට නායකත්වයේ අත්දැකීම් හෙබි ක්‍රීඩකයෙකු වෙයි.

අවසන් ජාත්‍යන්තර තරග 10කදී ඉන්දියානුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රතිඵල

1996 ලෝක කුසලාන සුදුසුකම් තරගයකදී ගෝල 1-1ක සමවීමක්
1998 සුහද තරගයකදී ගෝල 2-2 ක් ලෙස සමවිය
1998 සුහද තරගයකදී ගෝල 3-2ක ජයක්
1999 ආසියානු කුසලාන සුදුසුකම් තරගයකදී ගෝල 3-1ක පරාජයක්
2000 මාලේ සංවත්සර තරගයකදී ගෝල 1-0ක ජයක්
2003 සාෆ් ශූරතා තරගයකදී ගෝල 1-1ක් ලෙස සම විය
2009සුහද තරගයකදී ගෝල 3-1 පරාජයක්
2011 සාෆ් ශූරතා තරගයකදී ගෝල 3-0ක පරාජයක්
2015 සාෆ් ශූරතා තරගයකදී ගෝල 2-0ක පරාජයක්
2018 සාෆ් ශූරතා තරගයකදී ගෝල 2-0ක පරාජයක්

 


අදහස් (0)

ශ්‍රී ලංකාව වසර 3 කට පසු ජයක් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.