Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකාව පාලනය අතට ගනී
එස්.එස්.සී. ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාව පාලනය අතට ගනී

editorial - 2024 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ටෙස්ට් ක්‍රිකට් පිටියේ තවමත් ළමා විය ගෙවමින් සිටින ඇෆ්ඝනිස්ථානය හමුවේ තම ආධිපත්‍යය තහවුරු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (02 වැනිදා) ආරම්භ වූ ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම තරගයේ පාලනය සියතට ගත්හ. ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම ලකුණු 198 කට දවාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමා කළේ කිසිවකු නොදැවී ලකුණු 80 ක් ලබා ගනිමිනි. 

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නිෂාන් මධුෂ්ක (නොදැවී 36) සහ දිමුත් කරුණාරත්න (නොදැවී 42) දිනය අවසන් වන විටත් පිටියේ රැඳී සිටියහ. 

කඩුලු රකින්නකු වෙතින් බලාපොරොත්තු විය හැකි අතිශය දුර්ලභ ආකාරයේ උඩපන්දුවක් රැකගත් සධීර සමරවික්‍රම ඇෆ්ඝනිස්ථානු පිතිකරු රහමත් ෂාගේ (91) දෑස් මානයේ තිබූ ශතකය උදුරා ගත්තේය. 

ඇෆ්ඝනිස්ථානය වෙනුවෙන් සාර්ථකම ඉනිම ක්‍රීඩා කළ අංක 3 පිතිකරුවා, දිගින් දිගටම ස්වීප් පහරෙන් ලකුණු ලබාගන්නා අකාරය දුටු සධීර, පිතිකරුවා පහරට පෙළඹීමත් සමගම තම වම් පසට දිව යමින්, වම් අතින් රැකගත් උඩපන්දුව දෑතින්ම ග්‍රහණය කරගත්තේ ඇෆ්ඝනිස්ථානයේ පස්වැනි  කඩුල්ලත් ලකුණු 155 දී බිම දමමිනි. එහෙත් තේ පානයෙන් පසුව ලකුණු 30 ක් ඇතුළත අවසන් කඩුලු 5ම බිඳ වැටිණ. 

සංචාරකයන් වෙනුවෙන් හොඳම ඉනිම ක්‍රීඩා කළ රහමත් ෂා පන්දු 139 කට මුහුණ දෙමින් ලකුණු 91 කට දැවී ගියේය. 

ඉතාමත් දීප්තිමත් උදෑසනකදී කාසියයේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු පැකිළීමකින් තොරවම පන්දුවට පහර දීමේ වාරය ඇෆ්ඝනිස්ථානු පිලට පැවරීය. 

වේග පන්දු යවන්නන් තිදෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කඳවුරේ අපේක්‍ෂාව වූයේ යන්තමින් පළා පැහැය තිබූ තණතීරුවෙන් කිසියම් සහයෝගයක් ලබාගැනීම වුවත් එය සිදුවූයේ පළමු ඕවරයේදී පමණි. අසිත ප්‍රනාන්දු යැවූ තරගයේ දෙවැනි පන්දුවම කඩුල්ල වෙත ඇදී යද්දී ඊබ්‍රහිම් සද්රාන්ගේ පා ආවරණය ඊට හරස් වූ හෙයින් ඇෆ්ඝනිස්ථානු ආරම්භක පිතිකරුවාට ලකුණු නොලබාම ආපසු ක්‍රීඩාගාරයට යාමට සිදුවිය. 

එතැනින් පිටියට පිවිසි රහමත් ෂා ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ නොබියව තම පිත්ත හසුරුවමින්, දිවා ආහාරය වන විට මුලු ලකුණු සංඛ්‍යාව 90 දක්වා ඉදිරියට තල්ලු කරගෙන ගියේය. දිවා ආහාරයෙන් පසුව එක ලකුණක පරතරයක් තිබියදී නායක හෂ්මතුල්ලා ශහිඩි (17) සහ නසීර් ජමා්ල් (0) දෙදෙනාම දැවී ගියද රහමත් ෂා සහ ඉක්රම් අලිකිල් එක්ව ලකුණු 150 සීමාව පසුකරන විටත් ඇෆ්ඝනිස්ථානුවන් අත කඩුලු 6 ක වාසියක් තිබිණ. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය සඳහා පිතිකරුවන් හත් දෙනකු සමගින් ක්‍රීඩා කරයි. රමේෂ් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වී තිබුණු අතර ඔහු වෙනුවට පැමිණි චාමික ගුණසේකර අද පෙරවරුවේදී ඇන්ජලෝ මැතිව්ස් අතින් සිය ටෙස්ට් හිස්වැස්ම පැළඳ ගත්තේය. චාමික ගුණසේකර ශ්‍රී ලංකාවේ 165 වැනි ටෙස්ට් ක්‍රීඩකයායි.

වමතින් පන්දු යවන ප්‍රභාත් ජයසූරිය, ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටින එකම විශේෂඥ දඟ පන්දු යවන්නාය. නායක ධනංජය ද සිල්වා අවශ්‍ය වුවහොත් පිට දඟ පන්දු යැවීමේ වගකීම බාරගැනීමට සූදානමින් සිටී.  

 

(ඡායාරූප - කුෂාන් පතිරාජ)


අදහස් (0)

ශ්‍රී ලංකාව පාලනය අතට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.