Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැතුම් නිස්සංක ලබාගත් ශතකයත් (122) නායක චරිත් අසලංකගේ අලංකාර අර්ධ ශතකයත් (71) නිසා තියුණු තරගයකින් පසුව සිම්බාබ්වේ පිල පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (31 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කර ගත්තේය. මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 2-0 ක ජයක් අත්කර ගත්තේය.
ලකුණු 278 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේදී ලකුණු 12 ක් ලබාගත යුතු විය. ඒ අතරවාරයේදී චරිත් අසලංක දැවී ගිය නමුත් පිටියට පිවිස මුහුණ දුන් පළමු පන්දුවම හතරේ සීමාවෙන් එපිටට යැවූ කමිඳු මෙන්ඩිස් අවසන් ඕවරයේදී ගැසූ පුල් පහරකින් ජයග්‍රාහී ලකුණත් ලබාගත්තේය.
පළමු ඕවර 10 නිමාවන විට කඩුල්ලක් දැවී ලකුණු 45 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක පෙරමුණ ගෙන සිටියේය. හතරේ පහර 9 ක් ද සහිතව පන්දු 54 කින් සිය අර්ධ ශතකය ලබාගත් ආරම්භක පිතිකරුවා පාලනය කිරීම සිම්බාබ්වේ නායකයාට අසීරු අභියෝගයක් විය.
පැතුම්ට ඉදිරියෙන් මීටර 15 ක් පමණ ඈතින් පන්දු රකින්නන් සිව් දෙනකු රඳවා, බැක් කට් පහරට පොළඹවමින් ඔහු දවාගැනීමට සිම්බාබ්වේ නායක ෂෝන් විලියම්ස් උත්සාහ කළේය. එහෙත් ප්‍රතිඵලය පන්දු රකින්නන් සිව් දෙනාටම සෙලවීමට වත් කාලයක් නොතබෘ, හතරේ පහර තුනකින් පැතුම් පන්දු යවන්නන් දෙදෙනාට සංග්‍රහ කිරීමයි.
පන්දු 130 කින් සිය හත්වැනි එක්දින ශතකය සම්පූර්ණ කළ පැතුම් නිස්සංක, එයින් මඳ වේලාවකට පසුව වෙහෙසී සිටි බවක් දක්නට ලැබිණ. එහෙත් ඔහු දැවී ගියේ දුර්වල පහරකින් නොවේ. උඩපන්දුව රැකගත් අතිරේක ක්‍රීඩක වෙස්ලි මැදව්රේගේ විශිෂ්ට පන්දු රැකීම හේතුවෙනි. පැතුම් දැවී යාමට පෙර ආරම්භක පිතිකරුවාත් නායකයාත් එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ඇවිත් තිබිණ. දෙදෙනා අතර පැවැති ලකුණු 90 ක සම්බන්ධතාව නිසා තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු වී තිබිණ. චරිත් අසලංක දැවී යන විට ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමේ අත පොවන මානයේ තිබිණ.
බෙන් කරන් (79) සහ සිකන්දර් රාසා (නොදැවී 59) ලබාගත අර්ධ ශතක දෙකට ස්තුති කරමින් ලකුණු 250 සීමාව පසුකර ගිය සිම්බාබ්වේ පිතිකරුවෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 277 ලබාගත්හ. බෙන් කරන් මෙන්ම සිකන්දර් රාසාත් මෙම අර්ධ ශතක ලබාගත්තේ දින තුනක් ඇතුළත පැවැති තරග දෙකකදීය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ නමුත් පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැංවූ බ්‍රයන් බෙනට් සහ බෙන් කරන් දෙදෙනා පන්දු 58 කදී ලකුණු 55 ක් එකතු කළහ. දෙදෙනාගෙන් වඩාත් ආක්‍රමණශීලී ලෙසින් පිත්ත හැසිරවූ බෙන් කරන්, අනතුරුව පැමිණි බ්‍රෙන්ඩන් ටේලර් සමගින් ද එක්වී දෙවැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 61 ක් එකතු කළේය.
අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ෂෝට් මිඩ් විකට්හි සිටි පවන් රත්නායකට පහසු උඩපන්දුවක් තිළිණ කළ කරන් ලකුණු 79 කට දැවී යාම කිසිසේත්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිත සුව පිණිස වූයේ නැත. මක්නිසාද යත් එතැනින් පිටියට පැමිණි සිකන්දර් රාසා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිදෙන්නම පහර දුන් බැවිනි.
ආරම්භක පිතිකරුවා වූවද බෙන් කරන් සිම්බාබ්වේ ඉනිමේ නැංගුරම විය. 32 වැනි ඕවරය දක්වාම පිටියේ රැඳුණු වමත්කාරයා, පිතිකරුවකු සතුවිය යුතු තාක්‍ෂණයෙන් අනූන අයෙකි. පන්දු 95 කට මුහුණ දුන් බෙන් කරන් සෑම දුර්වල පන්දුවක්ම හතරේ සීමාවට යැවීමට පසුබට නොවීය. කරන්ගේ පිත්තෙන් නික්මී හතරේ සීමාව පසුකළ පන්දු සංඛ්‍යාව 9 කි.
කරන්ට මඟ හැරුණු තැනින් පටන් ගත් සිකන්දර් රාසා සහ ක්ලයිව් මඩාන්ඩේ එක්ව තම පිල ලකුණු 250 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියේය. රාසාට අර්ධ ශතකය හිමිවූයේ පැතුම් නිස්සංක වෙතින් ගිළිහී ගිය උඩපන්දවකිනි. ලෝන්ග් ඕන් හි සිට දිව ආ පැතුම් උඩපන්දුව යටට පැමිණි නමුත් ඔහුගේ දෑත්මත පතිත වූ උඩ පන්දුව සැණෙකින් ඉවතට පැනගත්තේ සිකන්දර් රාසාට තවත් හයේ පහරක් ගැසීමට අවස්ථාව ඉතිරි කරමිනි.
අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම තරමක් දුර්වලව පැවැති අතර රැකගත හැකිව තිබූ උඩපන්දු තුනක්ම ගිළිහී යනු දක්නා ලදි. දුෂ්මන්ත චමීර හොඳින් පන්දු යැවූ අතර ඉනිමේ මැද කොටසේදී චරිත් අසලංක සහ මහීෂ් තීක්‍ෂණ දෙදෙනා විසින් සිම්බාබ්වේ පිතිකරුවන් පාලනය කරගන්නා ලදහ.
ඡායාරූපය - සිම්බාබ්වේ ක්‍රිකට් අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.