Last Update  :  2025-07-27 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා යොවුන් පිල 5 වැනි තැනට අද සටනේ
යොවුන් ලෝක කුසලාන

ශ්‍රී ලංකා යොවුන් පිල 5 වැනි තැනට අද සටනේ

editorial - 2022 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 


බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 5 වැනි ස්ථනය වෙනුවෙන් පැවැත්වෙන තරගයේදී පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (3 වැනිදා) තරග බිමට පිවිසෙනු ඇත. ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ‍තරගය ශ්‍රී ලංකා වේලාවෙන පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේදී ඇෆ්ඝනිස්ථානය හමුවේ ලකුණු 4 ක තියුණු පරාජයක් ලැබූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රේණිගත කිරීමේ වටයේ තරගයකදී දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 65 ක ජයක් වාර්තා කරමින් 5 වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීම සඳහා අවස්ථාව උදාකරගත්හ.

පාකිස්තාන ‍යොවුන් කණ්ඩායම 5 වැනි ස්ථානය වෙනුවෙන් තරග වැදීම සඳහා අවස්ථාව උදාකරගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම හමුවේ ලකුණු 119 ක් ලෙස පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රේණිගත කිරීමේ වටයේ තරගයකදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක ජයක් වාර්තා කරමිනි.

මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම තරගාවලියේ 5 වැනි ස්ථානයට පත්වන අතර ඉන් පරාජයට පත්වන කණ්ඩායමට තරගාවලියේ 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවනු ඇත. ශ්‍රේණිගත කිරීමේ වටයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය හමුවේ පරාජයට පත්වූ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශයද අද ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේදී 7 වැනි සහ 8 වැනි ස්ථාන වෙනුවෙන් තරග වදිනු ඇත.

තරග 5 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 2 ක්ද සමග කඩුලු 17 ක් දවාගෙන සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාල‍ගේ මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවේ. එහිදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 224 ක්ද රැස්කරගෙන සිටින ඔහු තරගාවලියේ වැඩිම ලකුණු ලභීන් අතර 8 වැනි ස්ථානයේ රැදී සිටියි.

අවසන් පූර්ව වටයේ තරගවලදී පරාජය‍ට පත්වූ ඇෆ්ඝනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව හෙට (4 වැනිදා) තරගාවලි‍යේ තෙවැනි ස්ථානය වෙනුවෙන් කූලිජ් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත. වසර 24 කට පසුව යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා සිටින එංගලන්තය, අනිද්දා (5 වැනිදා) ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව ශූරතාව වෙනුවෙන් තරග වදිනු ඇත.


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිල 5 වැනි තැනට අද සටනේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.