Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පාපන්දු පිල මාලදිවයිනට

ශ්‍රී ලංකා පාපන්දු පිල මාලදිවයිනට

editorial - 2021 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සති දෙකකට ආසන්න කාලයක් සෞදි අරාබියාවේදී පුහුණුවීම්වල නිරතවූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 13 වැනි දකුණු ආසියානු (සාෆ්) පාපන්දු තරගාවලියට සහභාගිවීමේ අපේක්ෂාවෙන් ‘මාලේ’ නුවරට ළඟා වී සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ 27 දෙනෙක්, පුහුණුකරැවෝ හා සහාය කාර්ය මණ්ඩල නිලධාරීහු 11 දෙනෙක් ඇතුළත්ව සිටිති.

සත්කාරක මාලදිවයින හා නේපාලනය අතර ලබන සිකුරාදා (1 වැනිදා) පැවැත්වෙන තරගයෙන් මෙවර සාෆ් තරගාවලිය ආරම්භ වේ. වසර 26 කින් මෙම ශූරතාව දිනා ගැනීමට අපොහොසත්ව සිටින  ශ්‍රී ලංකාවේ මෙවර උත්සාහය දීර්ඝ කාලයක් තිස්සේ අහිමිව තිබෙන කීර්තිය නැවත අත්කර ගැනීමය.

කුසලානය දිනාගැනීම කෙසේ වෙතත් ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු ලබන දෙවැනි කණ්ඩායම බවට පත්විය හැකිනම් ශ්‍රී ලංකාවට මෙම 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත හැකිය. එසේ නොවුණහොත් මෙවර කුසලාන බලාපොරොත්තුත් නිසැකවම බිඳ වැටෙනු ඇත.

ශ්‍රී ලංකාවේ පාපන්දු දස්කම් ජාත්‍යන්තරයේ ඉතාමත් පහළ අඩියක පවතින අතර ඔවුන් ‘මාලේ’ තරගාවලියට සහභාගි වේ. ශ්‍රී ලංකාව  ලෝක ශ්‍රේණිගත කිරීම් හා ආසියානු  ශ්‍රේණිගත කිරීම්වල දී සෙසු ප්‍රතිවාදීන් සිව් දෙනාම වඩා පහළම තැනක පසුවේ. ආසියාවේ අන්තිමයා දක්වාම ශ්‍රී ලංකා පාපන්දු පිල ඇද වැටී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව  205 වැනි ස්ථානයට පත්ව තිබේ.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාව 107 වැනි ස්ථානයේද මාලදිවයින 158 වැනි ස්ථානයේද, නේපාලය  168 වැනි ස්ථානයේද, බංග්ලාදේශය 189 වැනි ස්ථානයේද පසුවෙති.

මෙම තරගාවලියේ වඩාත්ම ප්‍රබල කණ්ඩායම වන ඉන්දියාවත් පසුගිය වතාවේදී  ශූරතාව මාලදිවයිනත් ශ්‍රී ලංකා පිලට තර්ජනාත්මක කණ්ඩායම් බවට මෙවර පත්ව සිටියි. 90 දශකයේ දී ශ්‍රී ලංකාවෙන් ගුරැහරැකම් ලබා පාපන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණි මාලදිවයින අද වනවිට ශ්‍රී ලංකාවටම අභියෝගයක් බවට පත්ව සිටින තරමට සිය දක්ෂතා වැඩි දියුණු කරගෙන තිබේ.

මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට පසු කාලයේ එල්ල වූ පීඩනය පුපුරා ගිය අවස්ථාවක් මෙම තරගාවලියෙන්ම සොයා ගත හැකිය. වසර 2013 ‘කත්මන්ඩු’ තරගාවලියේදී මාලදිවයිනේ සැහැසි ප්‍රහාරයකින් ශ්‍රී ලංකාව ගෝල 10-0 ක අවමන් සහගත පරාජයක් ලැබීම එකල ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් සසළ කළ සිදුවීමත් විය.  එය කෙතෙක් ද යත් එවකට පාපන්දු සම්මේලනයේ සභාපති ධුරය දැරූ රංජිත් රුද්‍රිගු මහතා මෙය තරග පාවාදීමක් දැයි සැකයට භාජනය වන බැවින් විමර්ශණයක් කළ යුතු යැයි ද යෝජනා කර සිටියේය.

මෙවරද සත්කාරයේ වාසිය මාලදිවයිනට හිමිවන බැවින් ශ්‍රී ලංකාව වඩාත් කල්පනාකාරිවිය යුතුය.

මෙම තරගාවලියේ වැඩිම වාර ගණනක් අවස්ථා​ ගණන(07) කුසලාන දිනා ඇත්තේ ඉන්දියාවයි. එසේ වුවත් අවසන් වරට පැවති 2018 තරගාවලියේදී ප්‍රබල ඉන්දියාව පරාජය කරමින්  ශූරතාව ‘මාලේ’ නුවරට රැගෙන යාමට මාලදිවයින ක්‍රීඩකයෝ සමත් වූහ.
    
මේ වනවිට ‘තලේබාන්’ පාලනයකට නතුව තිබෙන ඇෆ්ගනිස්ථානය ද කලක් සාෆ් පාපන්දු ශූරතාවලිය නියෝජනය කළේය. එහිදී ඔවුන්ගේ සුපිරි දස්කම් කැපී පෙණුනි. 2013 තරගාවලියේ දී ශූරතාවද 2015 තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත් ඇෆ්ගනිස්ථානය විසින් පසුව තරගාවලියෙන් ඉවත්ව ගියේය.

මෙම තරගාවලියේ ජයග්‍රාහි කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 50,000ක් හෙවත් ශ්‍රී ලංකාවේ වත්මන් මුදලින් රුපියල් එක්කෝටි දොළොස් ලක්ෂ පනස් දහසකට (1,12,50,000) 2ආසන්න මුදලකි.


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු පිල මාලදිවයිනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.