Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටාරයට යයි

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටාරයට යයි

editorial - 2022 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කටාර් රාජ්‍යයේ දී පැවැත්වෙන පුහුණුවීම් සඳහා සහභාගී වන ක්‍රීඩකයන් 26 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද (25) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය. උස්බෙකිස්ථානයේ දී ජුනි 8 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන (2023) තෙවැනි කාණ්ඩයේ  නිර්දේශිත තරග වටයට සූදානමක් ලෙස ශ්‍රී ලංකා පාපන්දු සංචිත පිල් මෙම කටාර් තරග සංචාරය සිදු කෙරේ.

පුහුණුකරුවන් හා නිලධාරීන් 16 දෙනකුගේ කාර්ය මණ්ඩලයක්ද ඒ සමඟ සංචිත කණ්ඩායම හා එක්වෙමින් කටාර් රාජ්‍යය බලා හෙට පිටත්ව යයි.
 
මෙම පුහුණු තරග සංචාරයේ වැදගත්කම වන්නේ ශ්‍රී ලංකාවේ සේවයට අළුතින් කැඳවූ විදේශීය පාපන්දු පුහුණු උපදේශකවරුන් තිදෙනාගේ මෙරටදී සිදු කෙරෙන පළමු සංචාරයත් මෙය වීමයි. ඒ අනුව ප්‍රධාන පාපන්දු උපදේශක ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන්, සහය පුහුණු උපදේශක එංගලන්ත ජාතික කීත් ස්ටීවන්සන්, ශ්‍රී ලංකාවට ආගන්තුකයෙකු නොවන ශාරීරික යෝග්‍යතා පුහුණුකරු බ්‍රසීල ජාතික මාකෝස් ෆෙරෙයිරා යන මහත්වරු අද ශ්‍රී ලංකා කණ්ඩායම සමග දිවයිනෙන් පිටත්ව යති.  ඒ හැරෙන්නට සහය පුහුණුකරුවන් ලෙස දේවයානගම් රාජමානී, රත්නම් ජෙස්ටින් හා රූමි මොහොමඩ් යන මහත්වරුන් කටාර් පුහුණු සංචාරය සඳහා සංචාරක ශ්‍රී ලංකා පුහුණු සංචිත කණ්ඩාමට එක්කර තිබේ.

රත්නම් ජෙස්මින් මහතා පැවති අන්තර් පළාත් පාපන්දු තරගාවලිය කුසලාන දිනාගත් උතුරු පළාත් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අයයි.

මේ අතර වසර 2021 නොවැම්බර් මාසයේදී කොළඹදී නිමාවට පත් වූ අගමැති කුසලාන සිව් කොන් තරගාවලියේ දී ගෝල හතක් වාර්තා කරමින් දක්ෂතම ක්‍රීඩකයාට සම්මාන දිනාගත් අහමඩ් වසීම් රසික් මෙම පුහුණු තරග සංචාරයට ප්‍රතිචාර නොදැක්වීම අවධානයට යොමුවී තිබේ.   මේ වන විට ඉන්දීය ලීග් තරගාවලියේ දී කේරළ ගෝකුලම් කණ්ඩායමට ක්‍රීඩා කරමින් ඉන්දියාවේ රැඳී සිටින වසීම් රසික් පසුගිය කාලයේදී මුහුණු පොත (ෆේස් බුක්) ඔස්සේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනය විවේචනය කර සිටි බව ද වාර්තා වේ.

ජර්මනියේ උපන් ශ්‍රී ලංකා සම්භවයකින් යුත් මෙම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ අජි සුමිත් ජාතික පාපන්දු සංචිතයට එක් වූ ක්‍රීඩකයෙකි. වසීම් රසික් ශ්‍රී ලංකා සංචිතයට නිර්දේශ කර නොගැනීම ගැන විමසීමේ දී පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ වසීම් රසික් මුහුණ පොත ඔස්සේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනය විවේචනය කර සිටීම ඊට අනුගතව සිටින ක්‍රීඩකයෙකුට නොගැලපෙන ක්‍රියාවක් බවත් එහෙත් ඔහු පැමිණෙන්නේ නම් ඔහු ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ ඔහුගේ ස්ථානය තවදුරටත් වෙන්කර තිබෙන බවයි.
ඔහුට ගැටළුවක් තිබේ නම් පාපන්දු ආයතනය ඊට උදව් කිරීමට සූදානම් බවත් එහිදී ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාත්‍යන්තර තරග 41කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අවසන් වරට පැවති දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ දී (2021 මාලේ) හා අගමැති කුසලාන සිව් කොන් තරගාවලියේදී (2021 කොළඹ) ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දැරූ එහි නිත්‍ය ගෝල් රකින්නා වන සුජාන් පෙරේරා වීරසිංහ කටාර් පුහුණු තරග සංචාරයෙන් පසුව යෙදෙන ආසියානු කුසලතා (2023) නිර්දේශිත තරග වටයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි.

එහිදී ජුනි 8 වෙනිදා සත්කාරක උස්බෙකිස්ථානයට එරෙහිවද ජුනි 11 වනදා තායිලන්තයට එරෙහිවද හා ජුනි 14 වෙනිදා මාලදිවයිනට එරෙහිවද ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.

 


කටාර් පුහුණු සංචාරය සඳහා දිවයිනෙන් නික්ම යන ශ්‍රී ලංකා පාපන්දු සංචිත කණ්ඩායම,
ඡායාරූපයේ අසුන් ගෙන වමේ සිට –
ටී කජාකොසක්, අයිකූර් රහුමාන්, චරිත රත්නායක, හර්ෂ ප්‍රනාන්දු, මාලක චමීර, සුජාන් පෙරේරා (නායක) මොහොමඩ් ෆසාල්, මොහොමඩ් අකීම්, කවීෂ් ලක්ප්‍රිය, ප්‍රභාත් අරුණසිරි, චමෝද් ඩිල්ෂාන්.
මැද පෙළ වමේ සිට -
අබ්දුල් වසීත්, මොහොමඩ් ෆයස්, මරියදාස් නිතර්ෂන්, මොහොමඩ් මුර්ෂින්, චතුරංග මධුෂාන්, නුවන් ගිම්හාන, එස්.ජේසුතාසන්, ටී. ක්ලින්ටන්, මොහොමඩ් සමීර්, රෂීක් රිෂාඩ්, දිලිප් පීරිස්, අෆීල් මොහොමඩ්, මොහොමඩ් සිෆාන්.
පසුපෙළ වමේ සිට –
ෂෙනාල් සන්දේෂ්, ලසිත ප්‍රනාන්දු, යසන්ග දිල්හාර, මොහොමඩ් අමාන්, මොහොමඩ් ෆස්මීර්, තරිඳු ධනුෂ්ක, වින්සන්ට් ගීතන්, මොහොමඩ් මුස්ටාක්.
ඡායාරූපයේ නොමැත - ජූඩ් සුපුන් හා ඩිලෝන් ද සිල්වා.

 


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටාරයට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.