Last Update  :  2024-04-29 19:59:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින්

ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින්

Nisanka Sandeepani - 2018 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462 ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, තෙවැනි දිනය වූ අද (8 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය. 

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10 ම අතැතිව එංගලන්තයට වඩා තවත් ලකුණු 447 ක් පසුපසින් සිටියි. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා පිළිවෙලින් ලකුණු 7 ක් සහ 8 ක් බැගින් ලබා තෙවැනි දිනය නිමාවට පත්වන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට නොබියව මුහුණදුන් එංගලන්ත පිතිකරුවෝ කඩුලු 6 ක් දැවී ලකුණු 322 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය දෙවැනි ඉනිම අත්හිටුවා, ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී අගනා පිතිහරඹයක නිතර වූ ආරම්භ පිතිකරු කීටන් ජෙනිංග්ස් හතරේ පහර 9 ක් සමගින් නොදැවී ලකුණු 146 ක් රැස්කළේය. එය ජෙනිංග්ස්ගේ දෙවැනි ටෙස්ට් ශතකය මෙන්ම ඔහු ඉනිමකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද විය. 

ලකුණු 60 ක් ලබා සිටියදී ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කීටන් ජෙනිංග්ස් කඩුල්ල මුවා කළ බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉල්ලීමක් කළද, ප්‍රධාන විනිසුරුවරයා එම තීරණය ප්‍රතික්ෂේප කළේය. එහෙත් එය නිසැක වශයෙන්ම දැවීයාමක් බව පුනරූපන මගින් පසුව හෙළි විය. එසේ වුවත් එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායක සුරංග ලක්මාල් පියවර නොගැනීම නිසා දිවා ආහාරයට පෙර එංගලන්ත කණ්ඩායමේ සිව්වැනි කඩුල්ලත් දවාගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිළිහී ගියේය. 

බෙන්ස් ස්ටෝක්ස් (62) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ජෙනිංග්ස්, ඉන් නොනැවතී ජොස් බට්ලර් (35) සමග එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 77 ක්ද, බෙන් ෆෝක්ස් (37) සමග එක්ව හයවැනි කඩුල්ලට ලකුණු 61 ක්ද එක් කරමින් එංගලන්ත දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. 

දිවා ආහාරයෙන් අනතුරුව වේගයෙන් ලකුණු රැස්කළ ස්ටෝක්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් සිය 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළේය. පා ඉන්නට පිටතින් පතිත කළ පන්දුවක් මගින් ස්ටෝක්ස්ගේ කඩුල්ල බිඳ දැමූ ඩිල්රුවන් පෙරේරා, එංගලන්ත ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ස්ටෝක්ස් සහ ජෙනිංග්ස් අතර පැවැති සම්බන්ධතාවද නිමාවට පත්කළේය. 

ෆෝක්ස් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින්ද, බට්ලර් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින්ද ලකුණු රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කිරීමේ උත්සාහයක නිතර වූහ. එහිදී අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ෆෝක්ස් දැවීගිය අතර කෞෂාල් සිල්වාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ බට්ලර් දැවී ගියේ රංගන හේරත්ගේ අවසන් කඩුල්ල බවට පත්වෙමිනි. 

දෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 38 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය දෙවැනි ඉනිමට තවත් ලකුණු 284 ක් එක් කරගත්හ. මුලු ලකුණු සංඛ්‍යාව 74 ක් වන විට එංගලන්ත ඉනිමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. 

රෝරි බර්න්ස් (23) සහ කීටන් ජෙනිංග්ස් අතර පැවැති පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 60 කට සීමා කරමින් බර්න්ස් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මිඞ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරන්ත සමත් විය. ඉන් අනතුරුව පිටියට පිවිසි මුයින් අලීට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඩිල්රුවන් පෙරේරා ඉඩක් ලබා නොදුන් අතර රංගන හේරත් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට අලී ලබා සිටියේ ලකුණු 3 ක් පමණි. 

පළමු ඉනිමේදී රංගන හේරත්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් පිටියෙන් ඉවත්ව ගිය එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්, දෙවැනි ඉනිමේදී පිටියෙන් ඉවත්ව ගියේද හේරත්ගේම ගොදුරක් බවට පත්වෙමිනි. පිත්තේ පිටත දාරයේ වැදුණ පන්දුව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ අත් ආවරණ අතර සිරවීමත් සමග රූට්ගේ ඉනිමද ලකුණු 3 කට සීමා විය. 

-036 

 

h kf kj uy

තරගයේ විශේෂ අවස්ථා සඳහා

ඡායාරූප - චතුර එස් කොඩිකාර


අදහස් (0)

ශ්‍රී ලංකා පිල ලකුණු 447 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.