Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය සමකරති
දෙවැනි ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය සමකරති

editorial - 2022 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)

ටෙස්ට් තරගයක් කණපිට හැරීමට අවශ්‍ය වන්නේ එකම එක අත්වැරදීමක් පමණි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් මැනවින් පාලනය කරගෙන පන්දුවට පහර දෙමින් සිටි බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් දෙදෙනා පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 2 කට 176 ලෙසින් තබාගෙන සිටියහ. මේ ඇසිල්ලේ ප්‍රභාත් ජයසූරිය යැවූ පන්දුවක් නිදැල්ලේ යාමට හරිමින් රිස්වාන් තම පිත්ත අහකට ඇදගත්තේය. අපේක්‍ෂා කළ ලෙසින් දඟ නොකැවුණු පන්දුව ඇදීගියේ මොහොමඩ් රිස්වාන්ගේ පිට ඉන්න මත තිබූ බේලය බිම දමමිනි. 

එතැනින් ආරම්භ වූ පාකිස්තානුවන්ගේ කඩාවැටීම දැවැන්ත පරාජයකින් නිමාවිය. 

ගාල්ල ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේදී පාකිස්තානුවන් ලකුණු 261 ක සීමාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 243 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. මෙම ජයත් සමගින් පාකිස්තානයට එරෙහිව පැවැති තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමටද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. 

සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 360 ක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයෙන් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී ලකුණු 508 ක් ලබාගන්නා ලෙස පාකිස්තානුවන්ට අභියෝග කළහ. අභියෝගය බාරගත් පාකිස්තානුවෝ ඉලක්කය කරා යාම පැත්තකින් තබා නිදහසේ ලකුණු රැස්කරමින් සිටියහ. 

බදාදා සන්ධ්‍යාවේ පැවැති මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරන විටත්, කඩුල්ලක් දැවී ලකුණු 89 ක් ලබා සිටි පාකිස්තානු කණ්ඩායම අද පෙරුවේදී කඩුලු 2 කට ලකුණු 176 ක් ලබා සිටියේය. පරාජයක සේයාවක් හෝ පෙනෙන්නට නොතිබූ මොහොතක සියල්ල වෙනස් වූයේ මොහොමඩ් රිස්වාන් පන්දුව නිදැල්ලේ යාමට ඉඩ හැරීමෙනි. එතැන් සිට ලකුණු 85 ක් ඇතුළත පාකිස්තානු පිලේ කඩුලු 8 ක් බිඳ වැටිණ. 

රිස්වාන් පිටියෙන් ඉවත් වීමෙන් පසුව පැමිණි ෆවාඩ් අලාම් පාකිස්තානු පිලට දෙවැනි විෂ එන්නත දුන්නේ නොතිබූ ලකුණක් සොයා යද්දී දුවද්දී දැවී යාමෙනි. ඒ අතරට කුසල් මෙන්ඩිස්ගේ ඇදහිය නොහැකි උඩපන්දුවත් එක්විය. 

කුසල් මෙන්ඩිස් පන්දු රකිමින් සිටියේ ෆෝවර්ඩ් ෂෝට් ලෙග් ස්ථානයේය. අඝා සල්මාන් ගැසූ ස්වීප් පහරත් සමගින් දකුණු පසට ඇදුණු කුසල් මෙන්ඩිස්, තමන්ගෙන් ඉවතට ඇදී යන පන්දුව ඩැහැගත්තේ නායක බාබර්ට තිබූ අවසන් බලාපොරොත්තුවත් පිටියෙන් ඉවත් කරමිනි. මොහොමඩ් රිස්වාන්ගේ දැවී යාමත්, කුසල්ගේ උඩපන්දුවත් අතර පරතය පන්දු 35 කි. 

තම තුන්වැනි ටෙස්ට් තරගයේදී තුන්වැනි වරටත් කඩුලු 5 ක් දවාගත් වමතින් දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය, දිගින් දිගටම පාකිස්තානු නායකයාව මුළා කරමින් සිටියේය. බාබර් අසාම් ලකුණු 34 දී ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් ප්‍රභාත්, විනිසුරු රොඩ් ටකර් මහතාගෙන් තීන්දුවද ලබාගත්තේය. එහෙත් තීන්දුව විතීවි වෙත යොමුකළ බාබර් අසාම් තම කඩුල්ල ආරක්‍ෂා කරගත්තේ පන්දුව කඩුල්ලෙන් ඉවතට ඇදී යන බැවිනි. කෙසේ වෙතත් දෙවැනි වතාවේදී ප්‍රභාත් ජයසූරිය යැවූ පන්දුව සම්බන්ධයෙන් විනිසුරු ටකර් මහතාගේ තීන්දුව 100% ක්ම නිවැරදි විය. 

පාකිස්තානුවන්ට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී කඩුලු 17 ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය, සටනකින් තොරවම තරගාවලියේ වීරයා සම්මානය දිනාගත්තේය. ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව දෙවැනි තරගයේදී ලබාගත් කඩුලු 12 ත් සමගින් ටෙස්ට් තරග 3 කදී ප්‍රභාත් ජයසූරිය විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 29 කි. 

රමේෂ් මෙන්ඩිස්ද ප්‍රභාත්ට නොදෙවනි පන්දු යැවීමක නිරත විය. මුල් ඉනිමේදී ලකණු 47 කට කඩුලු 5 ක් දවාගත් මෙන්ඩිස්ගේ දෙවැනි ඉනිමේ පන්දු යැවීමත් සමගින් ඔහු මේ තරගයේදී ලකුණු 148 කට කඩුලු 9 ක් දවාගෙන තිබේ. 

තුන් වතාවක්ම වාසනාව ලද බාබර් අසාම් දැවී යාමත් සමගින් ශ්‍රී ලංකා ජයග්‍රහණයේ දොරටු විවර විය. එතැන් සිට පැවැතියේ වාර්ෂාව පිළිබඳ බියක් පමණි. එහෙත් බාබර්ගේ දැවීයාමෙන් පසුව ඕවර 11 කින් තරගය නිමා විය. 

ගාල්ල ක්‍රීඩාංගණයේදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ඇන්ජලෝ මැතිව්ස් එම ක්‍රීඩාංගණයේදීම තම 100 වැනි ටෙස්ට් තරගයටත් සහභාගි විය. තරග දෙක අතර වසර 13 ක පරතරයක් තිබුණද තරග දෙකේදීම මැතිව්ස් අත්වින්දේ ජයග්‍රහණයයි. 2009 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය පරදවා ලකුණු 50 කින් ජයගත් අතර 2022 තරගයේදී ශ්‍රී ලංකාවට ලැබුණේ ලකුණු 246  ක දැවැන්ත ජයකි. 

තරගය ජයගැනීමෙන් පසුව, ඉන්නක් උදුරාගත් නිරෝෂන් දික්වැල්ල, ඒ වන විටත් මිඩ් ඕන් ආසන්නයේ සිටි ඇන්ජලෝ මැතිව්ස් වෙත දිවැවිත් ඉන්න ඔහුට තිළිණ කළේ සමරුවක් ලෙස තබාගැනීමටය. 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය සමකරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.