Last Update  :  2025-07-27 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අයර්ලන්තය පරදවති
යොවුන් ලෝක කුසලාන

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අයර්ලන්තය පරදවති

editorial - 2022 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී අයර්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 128 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය. 

ගයානාහිදී පැවැති මෙම තරගයේ එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් ඕවර 43 කට සීමා කෙරුණ අතර එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය අයර්ලන්ත යොවුන් කණ්ඩායම ඕවර 31.4 ක් අවසානයේ ලකුණු 105 කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. 

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී, පන්දු 86 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් ජොෂුවා කොක්ස් හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් ලබා අයර්ලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. එහිදී අයර්ලන්ත පිතිකරුවන් 8 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක වනුජ සහන් ඕවර 4 ක් යවා ලකුණු 5 කට කඩුලු 3 ක් බිඳහෙළමින් අයර්ලන්ත මැද පෙළ සුනුවිසුණු කර දැමුවේය. චමිඳු වික්‍රමසිංහ, උප නායක රවීන් ද සිල්වා සහ මතීෂ පතිරණ කඩුලු 2 බැගින් දවාගනිමින් අයර්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා වනුජට අනගි සහායක් දුන්හ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඕවර 43 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 233 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ෂෙවොන් ඩැනියෙල් පන්දු 72 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 75 ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. 

රනුද සෝමරත්න පන්දු 30 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 33 ක්ද, පවන් පතිරාජ පන්දු 32 කදී ලකුණු 25 ක්ද, සදිෂ රාජපක්ෂ පන්දු 51 කදී ලකුණු 22 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම ගොඩනැගීම සඳහා දායකත්වය සැපයූහ. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙක්ම දුවද්දී දැවී යෑම්වලට හසුවූ අතර පන්දුවට පහරදෙමින් සිටියදී ආබාධයකට ලක්වීම නිසා සදීෂ රාජපක්ෂට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය. 

පෙරහුරු තරගයක් නිසා මෙම තරගයේදී කණ්ඩායම් දෙකටම සංචිතයේ සිටින සියලුම ක්‍රීඩකයන් යොදා ගැනීමට අවස්ථාව හිමිවිය. කෙසේ වුවත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ මෙම තරගයේදී පන්දු යැවීමේ නිරත නොවීය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගි වන මීළඟ පෙරහුරු තරගය හෙට (12 වැනිදා) උගන්ඩාවට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8.00 ට ආරම්භ වීමට නියමිතය.  

           

 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අයර්ලන්තය පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.