Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඉඩෝරයට පොද වැස්සක්
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඉඩෝරයට පොද වැස්සක්

editorial - 2023 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේ සිට..) ‍

 

පරාජයන්ගෙන් පිරුණු ඉඩෝරයකට ජයග්‍රහණයේ පොද වැස්සක් ගෙන ආ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ලක්නව් නුවර ඒකානා ක්‍රීඩාංගණයේදී නෙදර්ලන්තයට එරෙහිව අද (21 වැනිදා) පැවැති ‍ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සමත් වූහ. පිට පිටම පරාජයන් 3 ක් ලබා ලකුණු සටහනේ පතුළටම ඇද වැටී සිටි ශ්‍රී ලංකාව, මෙම ජයග්‍රහණයත් සමග පියවරක් ඉදිරියට පැමිණෙමින් ලකුණු සටහනේ 9 වැන් ස්ථානට පත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 263 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී පැය 3 ක පමණ කාලයක් පුරා කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම, පන්දු 107 කදී හතරේ 7 ක් සමග නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පිට පිටම තෙවැනි අර්ධ ශතකය ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (54) හ‍තරේ පහර 9 කින් එය අලංකාර කළේය. චරිත් අසලංක පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 44 ක්ද, ධනංජය ද සිල්වා පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා සදීරට අනගි සහායක් දුන්හ.

කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී, ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ සදීර, තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැතුම් සමග එක්ව පන්දු 40 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉන් නොනැවතුන ඔහු, අසලංක සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 99 කදී ලකුණු 77 ක්ද, ධනංජය (30) සමග එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 85 කදී ලකුණු 76 ක්ද එක්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.  

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තය ඕවර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262 ක් ලබා ගත්තතේය. ලකුණු 91 කට කඩුලු 6 ක් බිඳවැටී අසීරු තත්වකට පත්ව සිටි නෙදර්ලන්ත කණ්ඩායම, එම තත්වයෙන් මුදවාගත් සයිබ්‍රෑන්ඩ් (70) සහ වැන් බීක් (59) හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 143 කදී ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එය ලෝක කුසලාන තරගයකදී 7 වැනි කඩුල්ල‍වෙනුවෙන් වාර්තා වූ හොඳම සම්බන්ධතාවද විය.

සිය තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ සයිබ්‍රෑන්ඩ්, පන්දු 82 කට මුහුණ දෙමින් ලබාගත් මංගල අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. පන්දු 75 කදී ලබාගත් වැන් බීක්ගේ මංගල අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහරක් අන්තර්ගත විය. කොලින් ආක්මන් පන්දු 31 කින් ලකුණු 29 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 54 ක් වන විට නෙදර්ලන්ත ඉනිමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ කසුන් රාජිත, ඉන් නොනැවතී වැන් බීක්ගේ කඩුල්ලද දවාගත්තේ හතරේ සීමාව අසල සිට විශිෂ්ඨ උඩ පන්දුවක් රැකගනිමින් චරිත් අසලංක ලබාදුන් සහායත් සමගිනි. ඒ අනුව ලකුණු 50 කට කඩුලු 4 ක් බිඳහෙළමින් සිය එක්දින ක්‍රීඩා දිවියේ හොඳම පන්දු යැවීම සනිටුහන් කිරීමටද රාජිත හැකි විය.

නෙදර්ලන්ත පිතිකරුවන් අසරණ කිරීම සඳහා රාජිතට අනගි සහායක් දුන් ඩිල්ෂාන් මධුෂංක, නිලකුණු ඕවරයක්ද සමග ඕවර 9.4 ක් යවමින් ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගත්තේය. එය එක්දින තරගයකදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය. නෙදර්ලන්ත ඉනිම නිමාවීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදී නායක කුසල් මෙන්ඩිස් සමග එක්ව පෝල් වැන් මීකිරන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමටද ඩිල්ෂාන් සමත් සමත් විය.

කෙසේ වුවත් මෙම තරගයේදී නෙදර්ලන්තය ලබාගත් ලකුණු 262 න් 33 ක්ම අතිරේක ලකුණු වූ අතර ඉන් ලකුණු 26 ක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් වයිඩ් පන්දු යොමුකරමින් ලබාදුන් ලකුණු විය. චාමික කරුණාරත්න යැවූ පන්දු පන්දුවක් කඩුලු රකින්නාට පසුපසින් තබා තිබූ හිස් ආවරණයේ වැදීම හේතුවෙන් නෙදර්ලන්තයට දඬුවම් ලකුණු 5 ක් ලබාදීමටද විනිසුරුවරයා පියවර ගත්තේය.

 

නෙදර්ලන්තය

වික්‍රම්ජීත් සිං - ක.මු. කළා ප. රාජිත                          4
මැක්ස් ඕ’ඩොව්ඩ් - ප.රාජිත                                   16
කොලින් ආක්මන් - ඇ.මෙන්ඩිස් ප.රාජිත               29
බස් ඩි’ලීඩ් - ඇ.පෙරේරා ප.මධුෂංක                         6
තේජා නිදමනුරු - ක.මු. කළා මධුෂංක                     9
ස්කොට් එඩ්වඩ්ස් - ප.තීක්ෂණ                               16
සයිබ්‍රෑන්ඩ් එන්ගල්බ්‍රෙච්ට් - ප.මධුෂංක                    70
ලෝගන් වැන් බීක් - ඇ.අසලංක ප.රාජිත               59
රොලෝෆ් වැන්ඩර් මර්ව් - ඇ.මෙන්ඩිස් ප.මධුෂංක    7
ආර්යන් දත් - නොදැවී                                             9
පෝල් වැන් මීකිරන් - දුවද්දී දැවී ගියා                       4
අතිරේක                                                               33
එකතුව ඕවර 49.4 කදී සියලු දෙනා දැවී                262

කඩුලු වැටීම :
1-7(වික්‍රම්ජීත්), 2-48(ඕ’ඩොව්ඩ්), 3-54(ආක්මන්), 4-68(ලීඩ්), 5-71(නිදමනුරු), 6-91(එඩ්වඩ්ස්), 7-221(සයිබ්‍රෑන්ඩ්), 8-244(මර්ව්), 9-252(බීක්), 10-262(මීකිරන්)

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 9.4-1-49-4, කසුන් රාජිත 9-0-50-4, චාමික කරුණාරත්න 9-1-58-0, මහීෂ් තීක්ෂණ 10-0-44-1, දුෂාන් හේමන්ත 8-0-42-0, ධනංජය ද සිල්වා 4-0-13-0

 

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.එඩ්වඩ්ස් ප.මීකිරන්                 54
කුසල් පෙරේරා - ඇ.ලීඩ් ප.දත්                                 5
කුසල් මෙන්ඩිස්‍- ඇ.මීකිරන් ප.දත්                         11
සදීර සමරවික්‍රම - නොදැවී                                     91
චරිත් අසලංක - ප.දත්                                            44
ධනංජය ද සිල්වා - ප.ආක්මන්                                30
දුෂාන් හේමන්ත - නොදැවී                                       4
අතිරේක                                                               24
එකතුව ඕවර 48.2 කදී කඩුලු 5 ක් දැවී                  263

පන්දුවට පහර නොදුන් පිතිකරු‍වෝ :
චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත සහ දිල්ෂාන් මධුෂංක

කඩුලු වැටීම :
1-18(පෙරේරා), 2-52(මෙන්ඩිස්), 3-104(නිස්සංක), 4-181(අසලංක), 5-257(ධනංජය)

පන්දු යැවීම :
ආර්යන් දත් 10-0-44-3, ලෝගන් වැන් බීක් 10-0-57-0, පෝල් වැනි මීකිරන් 8-1-39-1, බස් ඩි’ලීඩ් 3-0-29-0, රොලෝෆ් වැන්ඩර් මර්ව් 9-0-42-0, කොලින් ආක්මන් 8.2-0-39-1


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඉඩෝරයට පොද වැස්සක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.