Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලය (වමේ සිට)
ක්‍රිෂාන්ත කපුවත්ත (උප ලේකම්), මොහාන් ද සිල්වා (ප්‍රධාන ලේකම්), ජයන්ත ධර්මදාස (උප සභාපති), ශම්මි සිල්වා (සභාපති), රවීන් වික්‍රමරත්න (උප සභාපති) සහ සුජීව ගොඩලියැද්ද (උප භාණ්ඩාගාරික)
ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා පිට පිට දෙවැනි වරටත් ඊයේ (20 වැනිදා) නිතරගයෙන් පත්විය. ඔහුගේ ප්‍රතිවාදීන් ලෙස සිටි කේ. මතිවානන් (රණතුංග පාර්ශ්වය), ජයන්ත ධර්මදාස සහ මොහාන් ද සිල්වා (ඡායා පාර්ශ්වය) යන මහත්වරුන් අවසන් මොහොතේදී නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමගින් ශම්මි සිල්වා මහතා ඇතුළු නිලධාරී මණ්ඩලය නිතරගයෙන් පත්විය.
කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණ. එහිදී ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතාත්, උප සභාපතිවරුන් ලෙස රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුත් තේරී පත්වූහ.
ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම්වරයා ලෙස පත් වූ අතර භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා ද, උප භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතාද නිතරගයෙන් තේරී පත් වුහ.
නිලවරණය අවසන් වීමත් සමගම වාර්ෂික මහ සභාවත් පැවැත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය විධායක සභාවත් පත්කර ගත්තේය. එහිදී තරගාවලි කමිටු සභාපතිවරයා ලෙසින් සමන්ත දොඩන්වල මහතාද, විනිසුරු කමිටු සභාපතිවරයා ලෙසින් බන්දුල දිසානායක මහතාද පත්වූහ.
විධයක සභාව පත්කරගැනීමෙන් පසුව ඊයේ සවසම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයට පැමිණි ශම්මි සිල්වා මහතා සිය නිලධාරී මණ්ඩලය ඉදිරියේ වැඩ බාරගත්තේය.
මෙම නිලධාරීන්ගේ ධූර කාළය 2023 වසරේ මැයි මාසය දක්වා බලපැවැත්වෙනු ඇත.
2021-23 සඳහා තේරී පත්වූ නිලධාරී මණ්ඩලය
සභාපති - ශම්මි සිල්වා මහතා
උප සභාපතිවරුන් - රවීන් වික්‍රමරත්න මහතා සහ ජයන්ත ධර්මදාස මහතා
ප්‍රධාන ලේකම් - මොහාන් ද සිල්වා
උප ලේකම් - ක්‍රිෂාන්ත කපුවත්ත මහතා
භාණ්ඩාගාරික - ලසන්ත වික්‍රමසිංහ මහතා
උප භාණ්ඩාගාරික - සුජීව ගොඩලියද්ද මහතා
තරගාවලි කමිටුව
සමන්ත දොඩන්වෙල (සභාපති - විධායක කමිටු සාමාජික), කසුන් ප්‍රනාන්දු, මාලන් ප්‍රනාන්දුපුල්ලේ, දීපාල් මදුරප්පෙරුම සහ ඩිලාන් පොලොන්නෝවිට යන මහත්වරු
විනිසුරු කමිටුව
බන්දුල දිසානායක මහතා (සභාපති - විධායක කමිටු සාමාජික), ශම්මි ප්‍රසන්න ගුණසේකර, ගිහාන් වීරසිංහ, දිල්රාන් අබේසේකර සහ මොහොමඩ් සිද්දික් යන මහත්වරු
පාසල් ක්‍රිකට් සංවර්ධන කමිටුව
ජයන්ත ජයවීර, වයි.රතීපන් සහ නලින් ජයවික්‍රම යන මහත්වරු
විධායක කමිටුවේ සෙසු සාමාජිකයෝ
ලලිත් රඹුක්වැල්ල (දිස්ත්‍රික්ක සහ පළාත් සංගම්), නලින් අපෝන්සු (පාලක ක්‍රීඩා සමාජ), ජනක පතිරණ (පාලක ක්‍රීඩා සමාජ), ප්‍රියන්ත අල්ගම (අනුබද්ධ ක්‍රීඩා සමාජ) යන මහත්වරුන් සමගින් ආරක්ෂක සේවා සහ රාජ්‍ය සේවා ක්‍රිකට් සංගම් නියෝජිතවරු සහ ක්‍රීඩා අමාත්‍යංශ නියෝජිතවරයා
සභාපතිවරයා ලෙසින් තේරී පත්වූ ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණි අවස්ථාව
ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.