Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 106 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 106 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A


මුයින් අලී විසින් පන්දු 3 ඇතුළතදී කුමාර් සංගක්කාර සහ ළහිරු තිරිමාන්න දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යවනු ලැබීම නිසා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලීඞ්ස් නුවර, හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (22 වැනිදා) ශ්‍රී ලංකා පිල තරමක අසීරු තත්ත්වයකට මුහුණ දෙමින් සිටියේය.

පෙරවරුවේදී එංගලන්ත මුල් ඉනිම ලකුණු 365 කට සීමා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස ක්‍රීඩාව නතර කරන විට තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබාගනිමින් එංගලන්තයට වඩා ලකුණු 106 ක් ඉදිරියෙන් සිටගත්තේය. එහෙත් මෙම තරගයේදී කිසියම් වාසිදායක තත්ත්වයක් අත්කරගැනීමට නම් අඩුතරමේ තවත් ලකුණු 150 ක් පමණ ලබාගත යුතුවන අතර එවන් ලකුණු සංඛ්‍යාවක් කරා යාමට උත්සුක වන ශ්‍රී  ලංකා පිතිකරුවන් හමුවේ ඇත්තේ අසීරු අභියෝගයකි.

කෙසේ වෙතත් මහේල ජයවර්ධන (නොදැවී 55) සහ නායක ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 24) තවමත් කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමේදී ලබාගන්නා වාසිය රැඳී ඇත්තේ මෙම පිතිකරුවන් දෙදෙනා මතය.

මුයින් අලීගේ පන්දුවක් පා ආවරණයේ වැදීම නිසා සංගක්කාරගේ ඉනිම ලකුනු 55 දී නිමා වූ අතර අලීගේ ඊළඟ ඕවරයේ දෙවැනි පන්දුවේදී ළහිරු තිරිමාන්න දැවී ගියේය. මෙම තරගයේ ඉනිම දෙකේදීම තිරිමාන්න මුහුණ දුන්නේ පන්දු 3 කට පමණි.

සංගක්කාර දැවී යාමට පෙර කඩුලු 8 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 64 ක් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මුයින් අලීගේ පන්දු යැවීම නිසා කඩුලු 6 ක් අතැතිව ලකුණු 68 ක තත්ත්වයට ඇද වැටිණ. සංගක්කාර දැවීයාමට පෙර පන්දු 103 කට මුහුණ දෙමින් චිත්තාකර්ශනීය හතරේ පහර 6 කින් එය සරසා තිබිණ.

මෙම තරගයේදී නැවත වරක් ලෝක වාර්තා අතරට එක්වූ කුමාර් සංගක්කාර, පිට පිටම ටෙස්ට් ඉනිම 7 කදී ලකුණු 50 ඉක්මවා ගිය පිතිකරුවන්  අතරේ සිය නම සටහන් කළේ එංගලන්තයේ ප්‍රබලම වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන්ට ගැසූ අලංකාර හතරේ පහරකිනි.

සංගක්කාරට පෙර පිට පිට ටෙස්ට් ඉනිම 7 කදී ලකුණු 50 කට වැඩියෙන් ලබා තිබුණේ බටහිර ඉන්දීය පිලේ හිටපු අති විශිෂ්ට පිතිකරුවකු වන එවර්ටන් වීක්ස්, සිම්බාබ්වේ පිලේ ඇන්ඩි ෆ්ලවර් සහ කොදෙව් පිලේ ෂිව්නරීන් චන්ද්‍රෙපා්ල් පමණි.

පසුගිය ජනවාරි මස අවසන් සතියේදී බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේ සිට පිට පිට ටෙස්ට් ඉනිම 7 කදී සංගක්කාරගේ ලකුණු රැස්කිරීම සටහන් වූයේ 75, 319, 105, 147, 61, 79 සහ 55 ලෙසිනි.

 කාසියේ වාසිය අහිමි වීම නිසා පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවූ ශී‍්‍ර ලංකා පිල මුල් ඉනිමේදී ලකුණු 257 ක් ලබාගත් අතර එංගලන්ත මුල් ඉනිමේ වාසිය ලකුණු 108 ක්වී තිබිණ.

මහේල ජයවර්ධන, පළමු ස්ලිප් හි සිටි කුමාර් සංගක්කාර ඉදිරිපිටට පනිමින් ක්‍රිස් ජෝර්ඩ්න්ගේ උඩපන්දුව රැකගන්නා ලද ආකාරයෙන් කියැවෙන්නේ ඔහු නැවතත් පන්දුව හොඳින් දකිමින් සිටින බවයි. හෙට දිනයේදී ඔහුට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් හොඳ සහයා්ගයක් ලැබුණහොත් ශ්‍රී ලංකා පිලට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් මෙන්ම ජය පරාජය සඳහා හොඳ තරගයක්ද දැකබලාගත හැකිවනු ඇත.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ විශාලතම වාසිය වූයේ  දිමුත් කරුණාරත්න ලකුණු 4 ක් ලබා සිටියදී දුන් ඉතාමත් පහසු උඩපන්දුවක් දෙවැනි ස්ලිප් හි සිටි ක්‍රිස් ජෝර්ඩ්න් වෙතින් ගිලිහී යාමයි. ඒ වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව වූයේ 4 කි. එසේ වුවත් අර්ධ ශතකයේ සීමාව පසුකර යාමට කරුණාරත්න අසමත් විය.

එංගලන්ත පිලේ 9 වැනි කඩුල්ල ලකුණු 350 දී දැවී ගිය නමුත් අවසන් පිතිකරුවා වූ ජේම්ස් ඇන්ඩසන් සමග එක්වූ මැතිව් ප්‍රයර්, පන්දුවට පහර දීමේ  වැඩි අවස්ථාව තමන් වෙත රඳවා ගනිමින් තමත් සතු වාසිය වැඩිකරගැනීමට උත්සාහ කළේය. එහෙත් ශමින්ද එරංගගේ කෙටි පන්දුවකින් ඇන්ඩසන් දැවී යාමත් සමගම ප්‍රයර්ගේ උත්සාහය නතර කිරීමට සිදුවිය.

නිසි ඉලක්කයකින් තොරව, පන්දුව වරින් වර තණතීරුවේ සෑම තැනකම පතිත කළ නමුත් ඒ අතරවාරයේ යැවුණු හොඳ පන්දු වලින් ශමින්ද එරංග  කඩුලු 4 ක් දවාගනිද්දී තම හොඳම ටෙස්ට් පන්දු යැවීම සටහන් කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගත්තේය.

ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ඉතාමත් බුද්ධිමත් තැනැත්තකු ලෙසින් පිළිගැනීමක් ඇති මැතිව්ස් තමන්ගේ කාය ශක්තිය අපතේ නොයවා, අවම වෙහෙසකින් සාර්ථකව පන්දු යවද්දී සෙසු වේග පන්දු යවන්නෝ එය අනුගමනය කිරීමට උනන්දු නොවූහ.

දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව සාර්ථක වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එංගලන්ත පිලේ අවසන් කඩුලු 8 ම දවාගත්තේ ලකුණු 87 ක් වැනි සංඛ්‍යාවකටය.

ලකුණු පුවරුව

තරගයේ විශේෂ අවස්ථා ...


අදහස් (6)

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 106 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.