Last Update  :  2025-09-17 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙයි

editorial - 2025 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ජපානයේ ටෝකියෝ නුවරදී සෙනසුරාදා (13 වැනිදා) ආරම්භ වන 20 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (9) දිවයිනෙන් පිටත්ව යයි. ඒ සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු හා එක් ක්‍රීඩීකාවක් නිර්දේෂවී තිබේ.

සැප්තැම්බර් 21 වැනිදා දක්වා පැවැත්වෙන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ලොව පුරා රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගැනීම පසුගිය අගොස්තු 31 වැනිදා  අවසන් විය. ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයන් දෙදෙනා වන සුමේධ රණසිංහ හා රුමේෂ් තරංග පිළිවෙලින් මීටර 85.78 ක හා මීටර 86.50 ක දක්ෂතාවයක් දක්වමින් ඒ සදහා කෙළින්ම නිර්දේශ ලබා ගැනීමට සමත් වූහ.

ඒ අතර ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් මත කිසිදු ක්‍රීඩිකාවක් කාන්තා ඉසව් සදහා නිර්දේශ ලබා ගැනීමට සමත් නොවීමෙන් දෙවනුව සළකා බැළෙන ප්‍රසාද ලකුණු ක්‍රමය මත එම අවස්ථාව ශ්‍රී ලංකාවේ මීටර 400 ක්‍රීඩිකා නදීෂා රාමනායක වෙත ප්‍රදානය කිරීමට ලෝක මලල ක්‍රීඩා ආයතනය ගත් තීරණයට අනුව මෙවර ලෝක මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන එකම ක්‍රීඩිකාව බවට ඇය පත්ව සිටින්නීය.

ඒ සදහා අවසන් නිර්දේශ සළකා බැලීමේදී කාන්තා ඉසව් නියෝජනය සදහා ශ්‍රී ලංකාවෙන් හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානී ලේකම්ගේද සළකා බැලුණි.ඇය වසර 2023 බුඩාපෙස්ට් ලෝක තරගාවලියට සහභාගි වූ ක්‍රීඩිකාවකි. ඒ අනුව 2009 බර්ලින් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් මීටර 400 (කාන්තා) ඉසව්වට ලෝක ශූරතාවලියට සහභාගි වන පළමු අවස්‍ථාව බවට නදීෂා රාමනායකගේ ටෝකියෝ ලෝක තරග සහභාගිත්වය පත්ව තිබේ.

එහිදී ප්‍රධාන පුහුණුකරු හා කළමනාකරු ලෙස ප්‍රදීප් නිෂාන්ත මහතාත් පුහුණුකරුවෙකු ලෙස ටෝනි ප්‍රසන්න මහතාත් ටෝකියෝ ලෝක ශූරතා තරග සංචාරයට සහභාගි වෙයි. ඔවුන් මෙවර ලෝක තරගාවලියට නිර්දේශ ලබා ගත් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූරයන්ගේ පෞද්ගලික පුහුණුකරුවෝ වෙති.

ටෝකියෝ ලෝක ශූරතා තරග සංචාරයට නිර්දේශ ලබා ගත් රුමේෂ් තරංග හා සුමේධ රණසිංහ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේ මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව හත් වැනි හා 10 වැනි ස්ථානවල පසුවේ.       

ලෝක තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන මීටර 400 (කාන්තා) ඉසව්වේ මූලික වටය සැප්තැම්බර් 14 වැනිදා පැවැත්වේ. හෙල්ල විසි කිරීම (පිරිම්) ඉසව්වේ අවසන් තරගයට නිර්දේශ ලැබීමේ වටය සැප්තැම්බර් 17 වැනිදා පැවැත්වේ. එම ඉසව් දෙකේම අවසන් තරග සැප්තැම්බර් 18 වැනිදා පැවැත්වේ.

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකාව අවසන් වරට පදක්කමක් දිනා ඇත්තේ වසර 2007 ජපානයේ ඔසාකා නුවරදී පැවැති තරගාවලියේදීය. ඒ මීටර 200 (කාන්තා) ඉසව්වෙන් සුසන්තිකා ජයසිංහ ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමයි.

1983 ආරම්භයේ සිට ශ්‍රී ලංකාව ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන අතර මේ දක්වා ශ්‍රී ලංකාව දිනා ගත් එහි පදක්කම් දෙකටම හිමිකම් කියන්නේ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩිකාවයි.ඇය 1997 ඇතැන්ස් ලෝක මලල ක්‍රීඩා  තරගාවලියේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් දිනා ගත් රිදී පදක්කම ශ්‍රී ලංකාව ලෝක මලල ක්‍රීඩා තරගාවලියකදී හිමි කර ගත් පළමු පදක්කමයි.

ගිය වර (2023) හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී පැවැති 19 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් මීටර 400 ක්‍රීඩක අරුණ දර්ශන,හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානී ලේකම්ගේ හා මීටර 4 × 400 (පිරිමි) කණ්ඩායම සහභාගි වූහ.


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.