Last Update  :  2025-08-05 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දුර්වල වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දුර්වල වෙයි

editorial - 2021 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුම ගෙදර තියා එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (29 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලියේදී තව දුරටත් දුර්වල වී තිබේ. කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවන් තිදෙනකුගේ සේවය අහිමි වීම ඊට හේතුවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක තිදෙනා වහාම ශ්‍රී ලංකාවට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ. මෙම ක්‍රීඩකයන් තිදෙනාම විස්සයි-20 තරගාවලියේදී අසාර්ථක වූ නමුත් මේ වන විට එංගලන්තයේ සිටින ක්‍රීඩකයන් 24 දෙනාගෙන් ඉදිරියෙන්ම සිටින පිතිකරුවෝ තිදෙනෙකි.

විස්සයි-20 තරගාවලියේදී අසාර්ථක වූයේ පිතිකරුවන් වන බැවින්, මෙම තිදෙනාට පැනවූ තරග තහනම හෙතුවෙන් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුවීම ශ්‍රී ලංකා කණ්ඩායමට බරපතළ පහරක් වී තිබේ.  

මෙම තිදෙනාම ජෛව බුබුළේ නිර්දේශ කඩ කර ඇති බැවින් පරීක්‍ෂණ අවසන් වන තුරු තිදෙනාටම තාවකාලික තරග තහනමක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ක්‍රීඩකයන් තිදෙනාම, වහාම ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.
 
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

“මේ අවස්ථාවේදී, තරගාවලියක් ආරම්භ කරන්න තියෙන මොහොතේදී මම කැමති නෑ ඒ ගැන කතා කරන්න” යයි කී කුසල්  එක්දින තරගයට පෙර පුවත් පත් සාකච්ඡාවට සහභාගි වෙමින් පසුගිය තරග වලදී දැක්වු දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැද සිටියේය.

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනා ප්‍රසිද්ධ ස්ථානයක සිටින වීඩියෝවක් ට්විටර් සමාජ ජාලයේ පළවීමෙන් පසුව ඔවුන් ජෛව ආරක්‍ෂිත බුබුල උල්ලංඝනය කර ඇති බවට චෝදනාවකට ලක්ව තිබේ. ධනුෂ්ක ගුණතිලක පළමු වීඩියෝවේ පෙනෙන්නට නැතත් දෙවැනි වීඩියෝවෙන් පෙනෙන්නේ ඔහු ඩර්හැම් නගර මධ්‍යයේදී අනෙක් දෙදෙනාට එක්වී ඇති බවයි. ඒ අනුව ඔහුද මෙම නීති කඩ කිරීමට එක්වී ඇතැයිද වාර්තා වේ.

මේ පිළිබඳව විමර්ශනය කරන නමුත් ඇත්ත වශයෙන්ම ජෛව බුබුලේ නියෝග උල්ලංඝනයක් සිදුවී ඇත්දැයි තහවුරු කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු මනූජ කාරියප්පෙරුම මහතා පවසා තිබේ. කෙසේ වෙතත්, මෙන්ඩිස් සහ දික්වැල්ල සිටින ප්‍රදේශයේ රූප රාමු ඩර්හැම්හි ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින හෝටලය අසල නොවන බව ද කාරියප්පෙරුම මහතා වැඩිදුරටත් පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන්ගේ ද අවධානය යොමුව ඇති අතර, කණ්ඩායම් කළමණාකරුගෙන් ඒ පිළිබද වාර්තාවක් ද කැඳවා ඇති බව වාර්තාවේ.
වාර්තා වන පරිදි මෙම වීඩියෝව පටිගතකර ට්විට්ර් සමාජ ජාලයට මුදා හැර ඇත්තේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලියකු විසිනි. ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 තරගාවලියේදී ලැබූ ඛේදජනක පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීහු වියරු වැටී සිටිති.

ඩර්හැම් නුවරින් ලැබෙන වාර්තා අනුව, ඩර්හැම් නගර මධ්‍යස්ථානයට යාමෙන්, මේ වන විට එංගලන්තයේ පවතින කොරෝනා නීති රීති ක්‍රීඩකයන් විසින් කඩකරනු ලැබ නැත. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් පනවා ඇති නියෝග කඩකර ඇද්ද යන්න දැන් පැන නැගී ඇති ප්‍රශ්නයයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම එංගලන්ත කණ්ඩායමත් නතරව සිටින්නේ ඩර්හැම්හි රැඩිසන් බ්ලූ හෝටලයේය. එය ඩර්හැම් නගරය මැදින් ගලායන වියර් ගංගාවේ බටහිර ඉවුරේ පිහිටා තිබේ.

එංගලන්ත ක්‍රීඩකයන්ට වුවත් හෝටලයෙන් පිටත, ඒ ආසන්නයේ සැරිසැරීමට අවසර තිබේ. එහෙත් ඔවුන්ට උපදෙස් දී ඇත්ගේ ‘වියර්’ ගංගාවේ බටහිර ඉවුරට වී සිටින ලෙසත්, ගඟ හරහා ගොස් නගර මධ්‍යස්ථානටය හෝ ආපාන ශාලා වලට ඇතුළත් නොවන ලෙසත්ය. ශ්‍රී ලංකා කණ්ඩායමටත් එවැනිම උපදෙස් දී ඇති බවත් වාර්තා වේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වීඩියෝ ගතකර ඇත්තේ නගර මධ්‍යස්ථානයේදී බව පැවසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණේ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයකු, ආරක්‍ෂක නිලධාරීන් නොමැතිව, හෝටලයෙන් පිටත  නොයා යුතු බවයට උපදෙස් දී තිබුණ බවයි.

මේ අතර එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරීක්‍ෂණ සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බවයි.

- 2079


අදහස් (1)

ශ්‍රී ලංකා කණ්ඩායම තවත් දුර්වල වෙයි
  • Sk Tuesday, 29 June 2021 05:09 AM

    කොහොමත් දුර්වල වෙන්න දෙයක් නෑ.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.