Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ඉනිම ලකුණු 203 කට සීමා වෙයි

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 203 කට සීමා වෙයි

Nisanka Sandeepani - 2018 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (7 වැනිදා) ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමා කිරීමට මුයින් අලී ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. 

ලකුණු 139 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම අද දෙවැනි දිනයේ තරගය අවසන් කරන විට කිසිවකු නොදැවී ලකුණු 38 ක් ලබා සිටි අතර රොරී බර්න්ස් ලකුණු 11 ක්ද, කීටන් ජෙනිංග්ස් ලකුණු 26 ක්ද රැස්කරමින් ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. 

ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතකයට හිමිකම් කියූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් ලබා සිටියදී තේ පානයෙන් පසුව මුයින් අලී යවන ලද පළමු පන්දුවේදීම කීටන් ජෙනිංග්ස් අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. පන්දු 122 කදී හුදකලා සටනක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූ මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය. 

මැතිව්ස්ගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඩිල්රුවන් පෙරේරා සමග එක්වූ නිරෝෂන් දික්වැල්ල, ශ්‍රී ලංකා ඉනිමේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 35 ක් එක් කිරීමට සමත් විය. එහෙත් සිය තෙවැනි කඩුල්ල ලෙස දික්වැල්ල ලකුණු 28 කට දවාගත් මුයින් අලී, ඉන් නොනැවතී අකිල ධනංජයද ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවූයේ ඔහුට එකදු ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් නොදෙමිනි. 

ලකුණු 175 කට කඩුලු 9 ක් දැවී තිබියදී ලකුණු 200 සීමාව දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාමට අවසන් පිතිකරුවන් දෙදෙනා වූ සුරංග ලක්මාල් (15) සහ රංගන හේරත් (නොදැවී 14) සමත් වූහ. ඔවුන් දෙදෙනාගේම ඉනිම්වලට හතරේ පහර 2 බැගින් අන්තර්ගත විය. 

තේ පානයට මිනිත්තු කිහිපයක් තිබියදී නිරෝෂන් දික්වැල්ල ගැසූ ස්විප් පහරක් ෂෝට් ලෙග්හී පන්දු රකිමින් සිටි කීටන් ජෙනිංග්ගේ හිසෙහි පසු පෙදෙසෙහි වැදීම හේතුවෙන් වේලාසනින්ම තේ පානය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. 

ලකුණු 40 කට කඩුලු 4 ක් දැවී තිබියදී ඇන්ජලෝ මැතිව්ස් සමග එක්වූ දිනේෂ් චන්දිමාල් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගෙඩනගමින් කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම සඳහා දැඩි වෙහෙසක් දැරීය. පන්දු 72 කට මුහුණදුන් චන්දිමාල් හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් ලබා සිටියදී ආදිල් රෂීඞ්ගේ පන්දුවක් හමුවේ බෙන් ෆෝක්ස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවී ගියේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 10 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ දිමුත් කරුණාරත්න (4) සහ කෞෂාල් සිල්වා (1) පිටියෙන් ඉවත් කළ ජේම්ස් ඇන්ඩසන් සහ සෑම් කරන් ආරම්භයේදීම ශ්‍රී ලංකා පිලට දැඩී පිඩනයක් එල්ල කළහ. අනතුරුව මුයින් අලීගේ සහ ජැක් ලීච්ගේ පන්දු හමුවේ ධනංජය ද සිල්වා ලකුණු 14 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 11 කටත් දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම මහත් අසීරු තත්වයකට ඇද දමමිනි. 

ඊයේ (6 වැනිදා) තරගයේ පළමු දිනය නිමාවන විට කඩුලු 8 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කර ගතහැකි වූයේ තවත් ලකුණු 21 ක් පමණි. 

පළමු දිනය නිමාවන විට ලකුණු 87 ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටි බෙන් ෆෝක්ස් අද පෙරවරුවේදී සිය මංගල ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීමට සමත් විය. පන්දු 202 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් එංගලන්ත ඉනිම ගොඩනැගූ ෆෝක්ස්, ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 107 කට දැවී ගියේ සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ලබාදුන් උඩපන්දුවක් රැකගැනීමට ධනංජය ද සිල්වා සමත් වීමෙනි.  

 

 

A df lo

ඡායාරූප - චතුර එස් කොඩිකාර 

තරගයේ විශේෂ අවස්ථා සඳහා 

 


අදහස් (0)

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 203 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.