Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රියාස් - ජදේජා ඉන්දියාව ගොඩගනිති
ඉන්දීය - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය

ශ්‍රියාස් - ජදේජා ඉන්දියාව ගොඩගනිති

editorial - 2021 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භයේදී තරමක් සසළ වූ නමුත් ශ්‍රියාස් අයියර් (නොදැවී 75) සහ රවීන්ද්‍ර ජදේජා (නොදැවී 50) දෙදෙනා එක්ව ගොඩනැංවූ ශතක සම්බන්ධතාව නිසා හිස් ඔසවාගත් ඉන්දියානුවෝ නවසීලන්තයට එරෙහිව කාන්පූර් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 258 ක් ලබාගත්හ.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රියාස් අයියර් අභීත පිතිහරඹයක නිරත වෙමින් හතරේ පහර 7 ක් සහ හයේ පහර දෙකක් සමගින් පන්දු 136 කදී නොදැවී ලකුණු 75 ක් ලබා සිටියේය. 

අයියර් සහ ජදේජා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 113 කි. ඉන්දියාවේ නිත්‍ය නායක විරාට් කෝලි මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර අජින්ක්‍යා රහනේ තාවකාලික නායකයා වී සිටී. 

ජ්‍යෙෂ්ඨ පිතිකරු චෙටේස්වාර් පුජාරා පිටියෙන් ඉවත් වීමෙන් පසුව කෝඩුකාරයා වූ අයියර් සමග එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගිය වැඩබලන නායකයා, කයිල් ජැමීසන්ගේ පන්දුවකින් ලකුණු 39 ට දැවී ගියේ ලකුණු සංඛ්‍යාව 145 ක් ව තිබියදී නවසීලන්ත බලාපොරොත්තු අලුත් කරමිනි. එහෙත් නවසීලන්තයට තරගය ග්‍රහණය කරගැනීමට අවසර නොදුන් ශ්‍රියාස් අයියර් සහ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජදේජා,  කඩුල්ලක් දවාගැනීමට අවසර නොදීම, තේ පානයෙන් පසුව ලකුණු 104 ක් තම කණ්ඩායමට එකතු කළහ. 

පන්දු යවන්නන් අතරේ ඉදිරියෙන්ම සිටි කයිල් ජැමීසන්, ඉන්දීය ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යවමින් නවසීලන්තයට හොඳ ආරම්භයක් දුන්නේ මාස දෙකක පමණ කාලයකට පසුව තරගකාරී පිටියට පිවිසෙමිනි. 

ඉන්දීය පිලේ නව ආරම්භක පිතිකරුවා වන ෂුබ්මන් ගිල්, පැය දෙකක පමණ කාලයක් පිටියේ සිටිමින් හතරේ පහර 5 කින් සහ හයේ පහරකින් සිය ඉනිම සැරසීය. 

ලෝක ටෙස්ට් කුසලානයේ වත්මන් හිමිකරුවෝ වන නවසීලන්තයද සිය සාම්ප්‍රදායික ගමන වෙනස් කරමින් විශේෂඥ දඟ පන්දු යවන්නන් වන අජාස් පතෙල් සහ විලියම් සමර්විල් දෙදෙනාත්, දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන රචින් රවීන්ද්‍රත් කණ්ඩායමට එකතුකර ගෙන සිටිති. මේ තිදෙනාම එක්ව ඕවර 52 ක් යැවූ නමුත් තරගයේ පළමු දිනය වන හෙයින් ඔවුන් තිදෙනාටම කඩුලු දවාගත නොහැකි විය. 

ඉන්දීය කණ්ඩායමටත් විශේෂඥ දඟ පන්දු යවන්නෝ දෙදෙනෙක් සහ වමතින් පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජදේජා එක්ව සිටිති. 

ඉන්දියාව පළමු ඉනිම - කඩුලු 4 ට 258 යි

(මයාන්ක් අගර්වාල් 13, ෂුබ්මන් ගිල් 52, චෙටේස්වාර් පුජාරා 26, අජින්ක්‍යා රහනේ 35, ශ්‍රියාස් අයියර් නොදැවී 75, රවීන්ද්‍ර ජදේජා නොදැවී 50, කයිල් ජැමීසන් 47/3)

- 213


අදහස් (0)

ශ්‍රියාස් - ජදේජා ඉන්දියාව ගොඩගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.