Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශන්ටෝ - මුෂ්ෆිකුර් බංග්ලාදේශය ඔසවති
ගාල්ල ටෙස්ට් තරගය

ශන්ටෝ - මුෂ්ෆිකුර් බංග්ලාදේශය ඔසවති

editorial - 2025 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 247 ක අති විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ නජ්මුල් හොසේන් ශන්ටෝ (නොදැවී 136) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 105) දෙදෙනා, ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් ශක්තිමත් තලයකට ඔසවා තැබූහ. දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 292 ක් ලබාගෙන සිටියේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් බංග්ලාදේශීහු පළමු හෝරාව ඇතුළත ලකුණු 45 කට කඩුලු 3 ක් අහිමිකර ගත්හ. පළමු හෝරාව ගෙවී යාමෙන් පසුව තැන්පත්ව පන්දුවට මුහුණ දුන් නජ්මුල් හොසේන් සහ මුෂ්ෆිකුර් රහීම් දෙදෙනා, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීමෙන් නිසි ප්‍රයෝජන ගනිමින් ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියහ. 

තමන් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්, හොඳින් පන්දු යැවූයේ යැයි තරගයෙන් අනතුරුව තරිඳු රත්නායක කීවත් දිනය පුරාම යැවුණු ඕවර 90 ට ඇතුළත් වූයේ නොයිඳුල් 8 ක් පමණි. දඟ පන්දු යවන්නන්ට වඩාත් යෝග්‍ය යයි කියන  ගාල්ල තණතීරුවේදී තරිඳු රත්නායක සිය පළමු නොයිඳුල් ඕවරය යැවූයේ ඕවර 21 කට පසුවය. ප්‍රභාත් ජයසූරියගේ ඕවර 29 අතර එකම නොයිඳුල් ඕවරයක් වත් නොතිබිණ. 

මේ අතරවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විතීවි අවස්ථා දෙකක් ද අහිමි කරගත්තේය. 
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරගාවලියකදී බංග්ලාදේශයේ සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව වෙනුවෙන් නව වාර්තාවක් පිහිටවූ වත්මන් නායකයා සහ හිටපු නායකයා, මෙතෙක් පැවැති ලකුණු 180 වාර්තාව ලකුණු 247 ක් දක්වා ඉදිරියට ගෙන ගියහ.
 
නජ්මුල් හොසේන් ශන්ටෝ ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග වලට සහභාගි වී ඇතත් ඔහු ගාල්ලේදී සහභාගි වන පළමු ටෙස්ට් තරගය මෙයයි. පැය 5 කට වැඩි කාලයක් මහත් පරෙස්සමෙන් පන්දුවට මුහුණ දුන් නජ්මුල් සිය පන්දු 260 ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් සරසාලීය. 

මුෂ්ෆිකුර් රහීම්ට නම් ගාල්ල ඉතාමත් සාර්ථක දඩ බිමකි. මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 3 කට  පමණක් සහභාගි වෙමින් ලකුණු 424 ක් ලබා සිටින මුෂ්ෆිකුර් රහීම්, ගාල්ලේදී මුහුණ දුන් ටෙස්ට් ඉනිම 4 ක ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 200, 85, 34 සහ නොදැවී 105 ක් ලෙසිනි. 

අද සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වන තරිඳු රත්නායක තම සිව්වැනි සහ පස්වැනි ඕවර දෙකේදීම, පිට පිට පන්දු දෙකකින් කඩුලු දෙකක් දවාගත්තද, ඉන් අනතුරුව දැඩි ප්‍රහාරයකට මුහුණ දුන්නේය. ඕවර 4.1 කදී ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගත් තරිඳු ඉන් පසුව, දිවා ආහාරයට පෙර,  ඕවර 6 කින් ලකුණු 34 ක් තිළිණ කළේය. දිනය නිමා වන විට ඔහුගේ පන්දු යැවීම සටහන්ව තිබුණේ 32-3-124-2 ක් ලෙසිනි. 

මෙම තරගයේදී ළහිරු උදාර සහ තරිඳු රත්නායක ශ්‍රී ලංකා ටෙස්ට් හිස්වැස්ම දිනාගත්හ. පැතුම් නිස්සංකගේ සහාය ආරම්භක පිතිකරුවා වශයෙන් ළහිරු උදාර පිටියට පිවිසීමට නියමිතය. 

ටෙස්ට් තරග 119 කට පසුව, ටෙස්ට් පිටියෙන් සමුගන්නා ඇන්ලෝ මැතිව්ස්ට උපහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ පියවර රැසක් ගෙන තිබිණ. 

අද තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් විසින් මැතිව්ස්ට විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරන ලදහ.

මෙම අවස්ථාවට මැතිව්ස්ගේ මව, පියා, බිරිඳ සහ දරුවන් ඇතුළු සමීප ඥාතීන් රැසක් මෙන්ම මැතිව්ස් අධ්‍යාපනය ලද කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ පූජකතුමන්ලාත් පැමිණ සිටියහ. 

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ශන්ටෝ - මුෂ්ෆිකුර් බංග්ලාදේශය ඔසවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.