Last Update  :  2024-05-20 18:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝනර් - මාෂ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති
ලෝක කුසලාන ක්‍රිකට් - 2023

වෝනර් - මාෂ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

editorial - 2023 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඩේවිඩ් ⁣වෝනර්ගේ සහ මිචෙල් මාෂ්ගේ වාර්තාගත පිතිහරඹය හමුවේ  පාකිස්තානයට එරෙහිව  බෙන්ගලූරු නුවර එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 368 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ඕවර 45.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 305 ක් පමණි.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 127 කදී ලකුණු 134 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තානයට සාර්ථක ආරම්භයක් ලබාදීමට  අබ්දුල්ලා ශෆීක් (64) සහ ඉමාම් උල්හක් (70) සමත් වුවද, ලකුණු 20 ක් ඇතුළත ඔවුන් දෙදෙනාවම පිටියෙන් ඉවත් කළ මිචෙල් මාෂ් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යළිත් තරගයට අවතීර්ණ වීම සඳහා අවස්ථාව උදාකර දුන්නේය. ශෆීක්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින්ද, ඉමාම්ගේ ඉනිම හතරේ පහර 10 කින්ද සමන්විත විය.

ඉන් අනතුරුව පාකිස්තාන පිතිකරුවන්ට හිස එසවීමට ඉඩක් නොදුන් ඇඩම් සම්පා, ලකුණු 54 කට කඩුලු 4 ක් බිඳහෙළමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා සම්පාට අනගි සහායක් දුන් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ලකුණු 62 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවෝ ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 365 ක් ලබාගත්හ. ආරම්භයේ සිටම පාකිස්තාන පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් ඩේවිඩ් වෝනර් (163) සහ මිචෙල් මාෂ් (121) ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 203 කදී ලකුණු 259 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනනැගූහ. එය ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දෙදෙනෙක් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ තෙවැනි ඉහළම සම්බන්ධතාව වූ අතර එම සම්බන්ධතා 3 ටම වෝනර් දායක වී තිබීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

ලෝක කුසලාන තරගාවලියකදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණ තෙවැනි ඉහළම සම්බන්ධතාවද මෙය විය. සිය එක්දින ක්‍රිකට් දිවියේ 7 වැනි වරටත් ලකුණු 150 සීමාව පසුකර ගිය වෝනර්, පන්දු 124 කට මුහුණ දෙමින් ලබාගත් 21 වැනි එක්දින ශතකය හයේ පහර 9 කින් සහ හතරේ පහර 14 කින් සැරසුවේය. පන්දු 108 කදී වාර්තා වූ මාෂ්ගේ දෙවැනි එක්දින ශතකය හයේ පහර 9 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.

‍මාෂ් සහ වෝනර් දැවී යෑමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ලකුණු ලබාගැනී‍මේ වේගය අඩාල වූ අතර ඕස්ට්‍රේලියාවට ලකුණු 400 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාව අහිමි කළ ‍ශහීන් අෆ්රිඩි නිලකුණු ඕවරයක්ද සමග ඕවර 10 ක් යවමින් ලකුණු 54 කට කඩුලු 5 ක් බිඳහෙළීය. හාරිස් රවුෆ් කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 8 තුළ ප්‍රතිවාදීන්ට ලකුණු 83 ක් ලබා දෙමිනි.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 367
(ඩේවිඩ් වෝනර් 163, මිචෙල් මාෂ් 121, ‍මාකස් ස්ටොයිනිස් 21, ශහීන් අෆ්රිඩි 54/5, හාරිස් රවුෆ් 83/3)

පාකිස්තානය - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 305
(අබ්දුල්ලා ශෆීක් 64, ඉමාම් උල්හක් 70, බාබර් අසාම් 18, මොහොමඩ් රිස්වාන් 46, සෞද් ශකීල් 30, ඉෆ්තිකාර් අහමඩ් 26, ඇඩම් සම්පා 54/4, මාකස් ස්ටොයිනිස් 40/2, පැට් කමින්ස් 62/2)

 


අදහස් (0)

වෝනර් - මාෂ් ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.