Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෙල්ලාලගේ ටෙස්ට් සංචිතයට
වෝන් - මුරලි කුසලාන

වෙල්ලාලගේ ටෙස්ට් සංචිතයට

editorial - 2022 ජුනි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ජයග්‍රාහී එක්දින තරගාවලියේ සාර්ථකම ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. එහෙත් ඒ අතිරේක ක්‍රීඩකයකු ලෙසිනි. වමතින් දඟ පන්දු යවන වෙල්ලාලගේ සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළේ නිමාවූ එක්දින තරගාවලියේදී වන නමුත් ඔහු තරගාවලිය අවසන් කළේ තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා ලෙසිනි.

එක්දින තරග 5 ටම සහභාගි වූ වෙල්ලාලගේ ඕවර 37 ක් යවමින් කඩුලු 9 ක් දවාගනිමින් තරගාවලියේ අන් සියලුම පන්දු යවන්නන් අභිබවා ගියේය. එහෙත් ඔහුව එක්වරම ටෙස්ට් සංචිතයට කැඳවිය නොහැක්කේ ටෙස්ට් තරග වලදී සාර්ථක වූ වමත් දඟ පන්දු යවන්නන් දෙදෙනකුම සංචිතයේ සිටින බැවිනි. එබැවින් වෙල්ලාලගේ අතිරේක ක්‍රීඩකයන්ගේ ලයිස්තුවට එකතු කර තිබේ.

ටෙස්ට් සංචිතයේ සිටින වමත් දඟ පන්දු යවන්නන් වන, 25 හැවිරිදි ලසිත් ඇඹුල්දෙණිය ටෙස්ට් තරග 16 කදී කඩුලු 71 ක් දවාගෙන සිටින ක්‍රීඩකයෙකි. 23 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් තරග 5 කදී කඩුලු 25 ක් දවාගෙන සිටින ක්‍රීඩකයෙකි. මේ දෙදෙනාම පසුගිය බංග්ලාදේශ සංචාරයේදී එතරම් දස්කම් දක්වා නැතත් ශ්‍රී ලංකාවේ පැවැති තරග වලදී සාර්ථක දස්කම් දැක්වූ ක්‍රීඩකයෝ වෙති.

කෙසේ වෙතත්, තවමත් 19 හැවිරිදි වියේ පසුවන දුනිත් වෙල්ලාලගේ මේ දෙදෙනාටම වඩා පිත්තෙන් දස්කම් දක්වන්නෙකි.

කඩුලු රකින්නන් වශයෙන් නිරෝෂන් දික්වැල්ල සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම ටෙස්ට් සංචිතයේ සිටිති.

ඕස්ට්‍රේලියානු පිලට එරෙහි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් නම් කළ මූලික සංචිතයට ඇතුළත්ව සිටි කමිල් මිෂාර, සුමින්ද ලක්ෂාන්, ළහිරු කුමාර සහ ෂිරාන් ප්‍රනාන්දු යන සිව් දෙනාටම අවසන් 18 දෙනාට ඇතුළත් වීමේ අවස්ථාව ගිළිහී ගොස් තිබේ.

වෝන් - මුරලි කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය ලබන 29 වැනිදා ගාල්ලේදී ආරම්භ වෙයි.


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය සහ ජෙෆ්රි වැන්ඩසේ

 

(ඡායාරූපය - හිමත් මතීෂ)

 


අදහස් (0)

වෙල්ලාලගේ ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.