Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි-20 ක්‍රිකට් ලෝක සැණකෙළිය හෙට සිට

විස්සයි-20 ක්‍රිකට් ලෝක සැණකෙළිය හෙට සිට

editorial - 2021 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

රටවල් 16 ක සහභාගීත්වයෙන් ඕමානයේදී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 2021 ‍විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (17) මස්කට් නුවර අල් අමරත් ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ආරම්භ ‍වේ. තරග 45 කින් සමන්විත මෙවර තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 14 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 සත්කාරක ඕමානය සුදුසුකම් තේරීමේ තරගාවලියේ සමාරම්භක තරගයේදී පැපුවා නිව්ගිණියාවට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය සඳුදා (18 වැනිදා) නැමීබියාවට එරෙහිව පැවැත්වෙන අතර ඉන් අනතුරුව 20 වැනිදා අයර්ලන්තයට එරෙහිවද, 22 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවද ශ්‍රී ලංකාව තරග වදිනු ඇත. ශ්‍රී ලංකාවට සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමට නම් ‍එම තරග 3 න් 2 ක් ජයගත යුතුය.

මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබුණද, කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් එහි සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඕමානයට ලබාදීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කළේය. විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ 7 වැනි ලෝක කුසලාන තරගවලිය වන මෙය මූලික වටය සහ සුපිරි 12 දෙනාගේ වටය ලෙස වට දෙකකින් සමන්විත වේ.

සුදුසුකම් ලැබීමේ වටයේදී කණ්ඩායම් 8 ක් එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වූ ‘ඒ’ සහ ‘බී’ ‍කාණ්ඩ දෙකක් යටතේ ලීග් ක්‍රමයට අනුව තරග වදිනු ඇත. එහිදී ශ්‍රී ලංකාව, අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව යන රටවල් ‘ඒ’ කාණ්ඩය යටතේද, බංග්ලාදේශය, ඕමානය, පැපුවා නිව්ගිණියාව සහ ස්කොට්ලන්තය යන රටවල් ‘බී’ කාණ්ඩය යටතේද තරගාවලියට එක්ව සිටිති‍.

මූලික වටය අවසානයේ එම කාණ්ඩ දෙකේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වන කණ්ඩායම් 4 සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනු ඇත. සුපිරි 12 දෙනාගේ වටයේදී එක් කාණ්ඩයක‍ට කණ්ඩායම් 6 බැගින් වූ පළමු සහ දෙවැනි කාණ්ඩ යටතේ ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වේ. එම වට‍යේ තරග අවසානයේ කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇත.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් පිල, ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් සහ ‘බී’ කාණ්ඩයේ අනු ශූරයන් පළමු කාණ්ඩය යටතේද, ඉන්දියාව, පාකිස්නායන, නවසීලන්තය, බංගලාදේශය, ‘බී’ කාණ්ඩයේ ශූරයන් සහ ‘ඒ’ කාණ්ඩයේ අනු ශූරයන් දෙවැනි කාණ්ඩය යටතේද සුපිරි 12 දෙනාගේ වටයේදී තරග බිමිට පිවිසෙති.

පළමු කාණ්ඩ‍යේ පළමු ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම සහ දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම අතර පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 10 වැනිදා අබුඩාබිහිදී පැවැත්වේ. පළමු කාණ්ඩ‍යේ දෙවැනි ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම සහ දෙවැනි කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ නොවැම්බර් මස 11 වැනිදා ඩුබායිහිදීය.

මෙවර තරගාවලියේ ශූරයන්ට කුසලාන සමගින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 16 ක ත්‍යාග මුදලක් හිමිවනු ඇත. අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක්ද, අවසන් පූර්ව තරගවලදි පරාජයට පත්වන කණ්ඩායම්වලට ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 බැගින්ද පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

මේ දක්වා පැවැති ‍විස්සයි20 ලෝක කුසලාන තරගාවලි 6 න් දෙකකදීම ශූරතාව දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල (2012 සහ 2016) සමත්ව සිටින අතර සෙසු තරගාවලි 4 දී ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය සහ ශ්‍රී ලංකාව ශූරතා දිනා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාව අනු ශූරතා 2 ක්ද, පාකිස්තානය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය එක් අනු ශූරතාව බැගින්ද හිමිකරගෙන ඇත. 


අදහස් (0)

විස්සයි-20 ක්‍රිකට් ලෝක සැණකෙළිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.