Last Update  :  2025-08-03 21:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි-20 ආරාධිත තරගාවලියක්

විස්සයි-20 ආරාධිත තරගාවලියක්

editorial - 2021 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(රොෂාන් ගුණරත්න)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත විස්සයි20 ලීග් තරගාවලිය මේ මස 12 සිට 24 වැනිදා දක්වා පැවැත්වේ. මේ වසරේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයන් සුදානම් කරවීමේ උත්සහයක් ලෙසින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබේ.

නිල්, කොළ, රතු සහ අළු ලෙස කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි20 තරග සඳහා ක්‍රීඩාකළ ක්‍රීඩකයන් සහ ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවේදී දස්කම් දැක්වූ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයද සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලිය සංවිධානය කරයි. 

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අගෝස්තු 24 වැනි දින පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත. 

තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන අතර සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙනු ඇත. පළමු තරගය ප.ව. 2.30 ට ආරම්භ වන අතර අනෙක් තරගය රාත්‍රී 7.00 ට ආරම්භ වේ. 

ශ්‍රී ලංකාවේ ඉදිරි තරග කාල සටහනට අනුව වැදගත් තරගාවලි කීපයක්ම පැවැත්වෙන බැවින්, ඊට අවශ්‍ය තරග පුහුණුව ලබාදීම මෙම තරගාවලියේ අරමුණයි. ඊට අමතරව, මේ වන විට දේශීය ක්‍රිකට් තරගාවලිය අත්හිටුවා ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සහ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී  ලංකා තරග සංචාරයේදී තරග වැදීමට අවස්ථාවක් නොලැබුණු ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දීමත් මෙම තරගාවලියේ තවත් අරමුණන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා පවසයි. 

තරගාවලියට සහභාගි වන කණ්ඩායමක් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ දැනට සිටින දක්‍ෂතම ක්‍රීඩකයන් 60 දෙනා මෙම තරගාවලියට ක්‍රීඩා කරති. 

තරගකාරී මුහුණුවරක් ගනු ඇතැයි අපේක්‍ෂිත මෙම ආරාධිත විස්සයි20 ලීග් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක සියලු අංගයන් සහිතව සංවිධානය කරනු ලැබේ. දේශීය රූපවාහිනි සහ ඩිජිටල් මාධ්‍ය නාලිකා ඔස්සේ සජිවීව මෙම තරග විකාශය කරනු ඇත.

 


අදහස් (0)

විස්සයි-20 ආරාධිත තරගාවලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.