Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විනිසුරුට එරෙහිව ශ්‍රී ලංකාවෙන් පැමිණිල්ලක්
බංග්ලාදේශ සංචාරය - 2024

විනිසුරුට එරෙහිව ශ්‍රී ලංකාවෙන් පැමිණිල්ලක්

editorial - 2024 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයේ සිලාත් නුවරදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදී තුන්වැනි විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මසූදුර් රහමන් මහතා විසින් වෙනස් කරන ලද තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකාරීත්වය අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණිලි කර තිබේ. මෙම තීන්දුව සම්බන්ධයෙන් තරග තීරකවරයාට පැමිණිලි කිරීමෙන් ඵලක් නොවන නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවන්ගේ කළමණාකරුට පැමිණිල්ලක් ගොනු කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබේ. 

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165 කට සීමාකරගත් බංග්ලාදේශය සිය ඉලක්කය කරා යද්දී, ලකුණු 14 ක් ලබා සිටි ආරම්භක පිතිකරු සෞම්‍ය සාර්කර් දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු ශර්ෆුදූලා මහතා සංඥා කළේය. එහෙත් පිතිකරුවා විසින් එය තුන්වැනි විනිසුරුවරයා වෙත යොමු කරන ලදි. 

රූපවාහිනී ප්‍රතිදර්ශන වලින් පන්දුව පිත්තේ වදින බව තහවුරු වූ හෙයින් පිතිකරුවා ක්‍රීඩාගාරය වෙත ඇවිද ගියත් තුන්වැනි විනිසුරු මසුදුර් රෙහෙමාන් මහතාගේ නිගමනය වූයේ ස්පර්ශය රූපවාහිනී තිරයේ දිස්වන විට එය රාමුවක් ඉදිරියට පැන තිබූ බවත්, පන්දුව පිත්ත පසුකර යද්දී පන්දුව සහ පිත්ත අතර පරතරයක් තිබූ බවත්ය. ඒ හේතුවෙන් සෞම්‍ය සාර්කර් නොදැවූණු ක්‍රීඩකයකු ලෙසින් නැවත වරක් තණතීරුවට පිවිසියේය.  බිනුර ප්‍රනාන්දුට කඩුල්ල අහිමි විය. 

රූපවාහිනී ප්‍රතිදර්ශන හා ශබ්දය උකහාගන්නා උපාංග අතර සම්බන්ධතාව සමපාත කිරීමේ දෝෂයක් හේතුවෙන් එවැන්නක් සිදුවිය හැකිව තිබූ නමුත් එවන් අවස්ථාවකදී සාමාන්‍ය පිළිවෙත වන්නේ පිතිකරුවා දැවී ගිය ක්‍රීඩකයකු ලෙසින් නම් කිරීමයි. එහෙත් බදාදා තරගයේදී සිදුවූයේ ක්‍රීඩාගාරය වෙත යමින් සිටි පිතිකරුවා නැවත වරක් පිටියට කැඳවීමයි. 

මෙම සිදුවීමත් සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මහත්සේ කෝපයට පත්වූ අතර පිටියේ සිටි ප්‍රධාන විනිසුරු ශර්ෆුදූලා මහතාව වටකරගනිමින් තීන්දුව සම්බන්ධයෙන් කරුණු විමසන්නට වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාද දැඩි සේ නොසන්සුන් වී සිටි බවක් පෙනෙන්නට තිබිණ. 

“ප්‍රධාන විනිසුරුවරයා තීන්දුව දීලා තිබුණේ..”

“ඒ වගේ වෙලාවකදී ප්‍රධාන විනිසුරුවරයාගේ තීන්දුවක් වෙනස් කරන්න තුන්වැනි විනිසුරුවරයාට ඇති තරම් සාක්‍ෂි තියෙන්න ඕනේ. ඒත් පැහැදිළිවම පන්දුව පිත්තේ වැදුණ බවට සාක්ෂියක් තිබුණා. අපි ඒක පිට්ටනියේ තියෙන දැවැන්ත රූපවාහිනී තිරයෙනුත් දැක්කා. ඒත් ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ වුණේ මොකක්ද කියලා අපි තරග තීරකවරයාගෙන් අහලා බලන්න ඕනේ” යයි ඊයේ තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පැවසීය. 

“ඒක (කඩුල්ල) ගත්තා නම් ඒ පළමු වැනි කඩුල්ලයි. ඒ කඩුල්ල අපට ලැබුණා නම් ඒක අපට හොඳ ආරම්භයක් වෙනවා. ඇරත් මේ වගේ තණතීරුවකදී ඕනෑම කඩුල්ලක් හරිම තීරණාත්මකයි” යයි ද නවීඩ් නවාස් මහතා පැවසීය. 

- ඡායාරූපය - ඒ.එෆ්.පී.


අදහස් (0)

විනිසුරුට එරෙහිව ශ්‍රී ලංකාවෙන් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.