Last Update  :  2025-07-22 18:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වික්‍රමාන්විත පිතිහරඹයක දුක්බර නිමාවක්
චිතගොන් ටෙස්ට් තරගය

වික්‍රමාන්විත පිතිහරඹයක දුක්බර නිමාවක්

editorial - 2022 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සම්පූර්ණ ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකටත් වැඩියෙන් ලබාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ වික්‍රමාන්විත ඉනිම නිසා චිතගොන් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 397 ක් ලබාගත්තේය. එවන් වික්‍රමන්විත ඉනිමකින් පසුව, ඔහුට හිමිවිය යුතුව තිබූ අගනා ද්විත්ව ශතකයක් අත පොවන මානයේ තිබියදී මැතිව්ස් ලකුණු 199 කට දැවී ගියේය. 

මෙම දැවීයාමත් සමගින් ටෙස්ට් තරගයකදී ලකුණු 99 දී මෙන්ම ලකුණු 199 දීත් දැවී ගිය ලෝකයේ පළමු වැනි පිතිකරුවා ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් වාර්තා පොතට එක්විය. මීට පෙර අවස්ථා 5 කදීම (99, 95, 91, 91 සහ 91) ලකුණු 90 සීමාව පසුකළද ශතකය ලබාගැනීමට පෙර මැතිව්ස් දැවී ගොස් තිබේ. සනත් ජයසූරිය (ඉන්දියාවට එරෙහිව) සහ කුමාර් සංගක්කාර (පාකිස්තානයට එරෙහිව) ටෙස්ට් තරගවලදී ලකුණු 199 දී දැවී ගිය අනෙක් ශ්‍රී ලංකා පිතිකරුවෝ වෙති. 

බංග්ලාදේශයේ චිතගොන් නුවර, සහූර් අහමඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ  දෙවැනි දිනය වන අද (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 76 ක් ලබා සිටියේය. තරගයේ තවත් සම්පූර්ණ දින තුනක් ඉතිරිව තිබියදී, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු  321 ක් ඉදිරියෙන් සිටින නමුත් බංග්ලාදේශය සතුව ඔවුන්ගේ කඩුලු 10 ම තිබේ.
 
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු, ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ උපදේශය වූයේ “නොබියව ලකුණු කරා යන්න” කියාය. එම උපදේශය අපූරුවට අනුගමනය කළ දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් දෙදෙනා, බංග්ලාදේශ පන්දු  යවන්නන්ට කරේ නගින්නට අවස්ථාව නොදී නිරන්තරයෙන්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළහ. ඒ අතරවාරයේදී ඉනිමේ බර කරට ගත් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තමන්ගේ කොටස කදිමට ඉටුකරමින් ලකුණු කරා යමින් සිටියේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ අට වැනි කඩුල්ල ලකුණු 328 දී බිඳ වැටීමෙන් පසුව, ලකුණු සංඛ්‍යාව 400 කඩයිම දෙසට තනිවම ඇදගෙන ගිය මැතිව්ස්, අවසන් පිතිකරුවන් දෙදෙනා සමගින් එක්ව ලකුණු 69 ක් කණ්ඩායම වෙනුවෙන් එකතු කළේය. එම ලකුණු 69 න් මැතිව්ස්ගේ දායකත්වය ලකුණු 50 ක් විය. 

කණ්ඩායමේ පළපුරුදුම පිතිකරුවා වන මැතිව්ස්ට අති විශිෂ්ට සහයෝගයක් දුන් විශ්ව ප්‍රනාන්දු,  ලකුණු 17 ක් ලබා සිටියදී තේ පානයට ගියද නැවත පිටියට නොආවේය. ෂොරිෆුල් ඉස්ලාමේගේ පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙන් ඔහු කම්පනයට පත්ව සිටින්නට ඇත. තේ පානය වන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 8 කට 375 ක් ලෙසිනි. එහෙත් ලකුණු 390 දී අසිත දැවී යාමෙන් පසුව නැවතත් පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු අනෙක් අන්තයේ සිටි නමුත් ඔහුට දැකගත හැකිවූයේ මැතිව්ස්ගේ ද්විත්ව ශතකය නොව, ලකුණු 199 දී මැතිව්ස් දැවී යන ආකාරයයි. 

නයීම් හසන්ගේ පන්දුවක් හමුවේ තම සීමාවෙන් ඉදිරියට පැමිණි මැතිව්ස් පිත්ත කරකවා පහරක් ගැසූ නමුත් බලාපොරොත්තු වූ ආකාරයෙන් නොපැමිණි පන්දුව, පිත්තේ කොණක වැදී ඉහළ යාමෙන් පසු, ස්ක්වෙයාර් ලෙග්හි සිටි සකිබ් අල් හසන් අත නතර වූයේ නයීම් හසන්ට 6 වැනි කඩුල්ල තිළිණ කරමිනි. පන්දු 397 කට මුහුණ දුන් මැතිව්ස්ගේ මනස්කාන්ත ඉනිම හතරේ පහර 19 කින් සහ හයේ පහරකින් අලංකෘත විය. 

චන්දිමාල් ලකුණු 66 කට දැවී යාමෙන් පසුව පැමිණි නිරෝෂන් දික්වැල්ලගේ වැරදි පහරකින් මඟ වරද්දා ගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 05 ක් තුළදී කඩුලු 3 ක් අහිමි කරගත්හ. වරෙක කඩුලු 5 කට ලකුණු 323 ක් ලබා සිටි ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 328 කට කඩුලු 8 ක් දක්වා වෙනස් කළ සකිබ් අල් හසන් පිට පිටම පන්දු දෙකකදී කඩුලු 2 ක් දවාගත් නමුත් විශ්ව ප්‍රනාන්දු සහ මැතිව්ස් එක්ව තත්ත්වය පිළිසකර කරමින්, තේ පානයට පෙර, 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක් එකතු කළහ. 

පළමු දිනය නිමාවන විට කඩුලු 4 ක් දැවී ලකුණු 258 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේදී ලකුණු 69 ක් ලබාගත්තේය. බංග්ලාදේශ දඟ පන්දු යවන්නන් හමුවේ නොබියව තම සීමා ඉරෙන් පිටතට පැමිණි චන්දිමාල්, පන්දු රකින්නන්ගේ හිසට ඉහළින් පන්දුව යවමින්, ලකුණු ලබාගනිද්දී ඇන්ජලෝ මැතිව්ස් දුර්වල පන්දුව දුටු තැනම එය හතරේ සීමාවට යැවීමට පසුබට නොවීය. 

එක්දින තරගයක සම්පූර්ණ ඉනිමකට ආසන්න කාලයක් (ඕවර 47.5 ක්) පැවැති මැතිව්ස් - චන්දිමාල් සම්බන්ධතාව බිඳී ගියේ පිට ඉන්න එල්ලයේ වැටුණු පන්දුවකට ‘රිවර්ස් ස්වීප්’ පහරක් ගැසීමට චන්දිමාල් ගත් උත්සාහයකිනි. ඔහු කඩුල්ල මුවා කළ බව විනිසුරුවරයාගේ තීරණය වූවත්, පිට ඉන්නට ඇඳි රේඛාවට ගෑවී නොගෑවී පතිත වූ පන්දුව කඩුල්ලේ නොවදිනු ඇතැයි සිතූ චන්දිමාල් විතීවි සහාය ඉල්ලා සිටියේය. එහෙත් විනිසුරු තීරණයම නිවැරදි වූයේය. 

ටෙස්ට් තරග 48 කට සහභාගි වී ඇතත් තවමත් ශතකයක් ලබාගැනීමට අපොහොසත් වී සිටින නිරෝෂන් දික්වැල්ල, සුපුරුදු කලබලකාරී ආරම්භයට පිවිසියද මුහුණ දුන්නේ පන්දු 4 කට පමණි. නියමිත එල්ලයේ වැටුණු නයීම් හසන්ගේ පන්දුවක් හමුවේ බැක් කට් පහරක් ගැසීමට උත්සාහ කළ දික්වැල්ලගේ කඩුල්ලට කඩාවැදුණේය. 

කඩුලු 6 කට ලකුණු 327 ක් ලබා සිටියදී දිවා ආහාරය ගත් ශ්‍රී ලංකා පිලේ තවත් කඩුලු දෙකක් පිට පිටම පන්දු දෙකකදී දවාගත් සකිබ් අල් හසන් ලකුණු 328 කට කඩුලු 8 ක් ලෙසින් ලකුණු පුවරුව වෙනස් කළද අනතුරුව පැමිණි විශ්ව ප්‍රනාන්දු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණක් ලබාගැනීම නිසා සකිබ් අල් හසන්ගේ කඩුලු ත්‍රිත්වය අහිමි විය. 

-213


අදහස් (0)

වික්‍රමාන්විත පිතිහරඹයක දුක්බර නිමාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.